Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය පහසු කරති
ඕස්ට්‍රේලියා - අයර්ලන්ත තරගය

පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය පහසු කරති

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. ග්ලේන් මැක්ස්වෙල්, ඇඩම් සම්පා, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ලෝකන් ටකර්, පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 71 ක් රැස්කළ නමුත් සහායට කිසිවකු නොමැති වීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑමද අයර්ලන්තයට විශාල පාඩුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තේය. තරමක මන්දගාමී ආරම්භයක් ලබාගත්තද, ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීම වේගවත් කළ නායක ඒරන් ෆින්ච්, පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් (3) දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් මිචෙල් මාෂ් (28) සමග එක්ව පන්දු 36 කදී ලකුණු 52 ක් එක් කළ ෆින්ච්, ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන්නේය. පන්දු 22 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

මාෂ්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබිණ. එහෙත් මාකස් ස්ටොයිනිස් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවීමටද ෆින්ච් සමත් විය. පන්දු 25 කට මුහුණදුන් ස්ටොයිනිස් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම තම ගොදුරු බවට පත්කර ගත් බැරී මැකාති සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 29 ක් පමණි. ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට යෑමෙන් වළක්වාලීම සඳහා මැකාතිට අනගි සහායක් දුන් ජොෂුවා ලිට්ල් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත්තේය.

 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 179
(ඒරන් ෆින්ච් 63, මිචෙල් මාෂ් 28, මාකස් ස්ටොයිනිස් 35, ටිම් ඩේවිඩ් නොදැවී 15, බැරී මැකාති 29/3, ජොෂුවා ලිට්ල් 21/2)

අයර්ලන්තය - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 137
(ලෝකන් ටකර් නොදැවී 71, ගැරිත් ඩෙලනි 14, ග්ලේන් මැක්ස්වෙල් 14/2, ඇඩම් සම්පා 19/2, පැට් කමින්ස් 28/2, මිචෙල් ස්ටාක් 43/2)

-036


අදහස් (0)

පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවේ ජය පහසු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.