Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නොසිඳෙන බලාපොරොත්තුව

නොසිඳෙන බලාපොරොත්තුව

editorial - 2021 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එහි ඉතිහාසය මෙනි.
අගාධයේ පතුළටම වැටී සිටින අවස්ථාවකදී කවුරුන් හෝ පැමිණ, ජන සන්තානයන් තුළ නැවතත් බලාපොරොත්තු දැල්වීම, වසර දහස් ගණනක් පැරණි ශ්‍රී ලංකා ඉතිහාසය හදාරන්නකුට මැනවින් දැකගත හැකිය.

කොරෝනා වයිරසයෙන් දිනෙන් දින බැට කමින්, නිවෙස් තුළට සිරවී, සන්තාපයම තුරුළු කරගෙන සිටි ශ්‍රී ලාංකිකයන්ට, නැවත වරක් සතුටින් උදම්වීමේ අවස්ථාවක් දීමට දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති පළමු එක්දින තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 14 කින් පරාජය කරමිනි.

මේ වසර තුළදී සහභාගි වු එක්දින තරග 12 කින් 9 ක් පරාජය වී අන්ත අසරණ වී සිටි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම, පළමු තරගයේදී ජයගත්තේ සිය ප්‍රබලතම මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් පස් හය දෙනකු නොමැතිවය. එයද එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකානු පිලට එරෙහිවය.

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අතරේ 9 වැනි තැනට වැටී සිටියද ශ්‍රී ලංකා පිලේ දැන් ඉලක්කය වී තිබෙන්නේ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව 3-0 ක තරගාවලි ජයකි.

ආශ්වදජනක පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම දමා දුන්නේය. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ අසමත් වීම හේතුවෙන් තරගාවලි කිහිපයක්ම මඟහැරගත් අවිශ්ක දැන් තමන්ගේ තරම මෙන්ම වගකීමත් වටහාගෙන තිබෙන සෙයකි.

ශාරීරික යෝග්‍යතාව නියමිත මට්ටමට ගෙන ආ පසුව තමන්ට වෙනදාට වඩා ක්‍රීඩා කිරීමේදී පහසුවක් දැනෙන බව අවිශ්ක ප්‍රනාන්දු ඊයේ තරගයෙන් පසුව පැවසීය.

“මගේ ශාරීරික යෝග්‍යතාව නියමිත මට්ටමේ නොතිබුණ නිසා සමහර තරග මට මඟහැරුණා. ඉතිං මම ඒකෙන් දෙයක් ඉගෙනගෙන, මගේ ශාරීරික යෝග්‍යතාව අවශ්‍ය මට්ටමට ගත්තා. ඒකෙන් මට ඇත්තටම පන්දුවට පහර දෙනකොට හරිම පහසුවක් දැනෙනවා. ඒ වගේම පන්දු රැකීමත් කරන්න ලේසියි” යයි අවිශ්ක ඊයේ තරගයෙන් පසුව පැවසීය.

ආරම්භක පිතිකරුවා වශයෙන් අවිශ්ක මෙම තරගයේදී නිරූපනය කළ භූමිකාව තුළ තිබුණේ ලකුණු හඹායම පමණක් නොවේ. ඉවසීම, තැන්පත්කම, විචාර බුද්ධිය මෙන්ම අවශ්‍ය තැනදී නොපමාව කළයුතු ආක්‍රමණයද එහි විය. ඔහුගේ පන්දු 115 ක ඉනිමේ අගනාම කොටස තිබුණේ ධනංජය ද සිල්වා සමග එක්ව, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 79 ක සම්බන්ධතාව තුළය.

13 වැනි ඕවරයේදී ආරම්භ වූ ‘අවිශ්ක - ධනංජය සම්බන්ධතාව’ 30 වැනි ඕවරය දක්වාම ගලා ගියත්, ඒ අතරවාරයේදී දෙදෙනා මුහුණ දුන් පන්දු 108 න් අවිශ්ක ලබාගත්තේ ලකුණු 31 ක් පමණි. ධනංජය හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් ලබාගනිද්දි අවිශ්ක තැන්පත්ව සිටියේය. අවිශ්ක වැඩ ඇල්ලූයේ ධනංජයගේ දැවී යාමෙන් පසුව පැමිණි චරිත් අසලංක සමගිනි.

“අවුරුදු 15 - 16 ඉඳන්ම මමයි චරිතුයි එකට ක්‍රීඩා කරනවා. ඇත්තටම එයා ගහන විදියයි මම ගහන විදියයි දෙන්නට දෙන්න දන්නවා. ඉතිං එයා ගහනකොට මම සමහර දේවල් කියනවා. මම ගහනකොට එයා සමහර දේවල් කියනවා. අපි දෙන්නා අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා” යැයි චරිත් සමඟ පන්දුවට පහරදීම සම්බන්ධයෙන් අවිශ්ක පැවසීය.

ධනංජය සමග සිටියදී 70 තිබූ අවිශ්කගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) ඉනිමේ අවසන් කොටස වන විට 100 ඉක්මවා තිබිණ. ඊට ප්‍රබල පෙළඹවීමක් වූයේ චරිත් අසලංකගේ නිර්භීත ක්‍රීඩා විලාසයයි.

15 න් පහළ ක්‍රීඩකයකුව සිටි සමයේ පටන්ම, තමන්ට දීප්තිමත් අනාගතයක් හිමි බව පෙන්නුම් කළ චරිත් අසලංක ද මීට වඩා දෙයක් කළ හැකි ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ සිටි නායකයෙකි. සිය අවසන් එක්දින තරග 4 ලබාගත් ලකුණු 199 ක් අසලංක ඒබ ව මොනවට සනාථ කර තිබේ. එම තරග හතරේදී ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 38, 65, 24 සහ 72 ක් ලෙසිනි.

අවිශ්කගේ ඉනිමේ අනෙක් වාසිදායක සාධකය වූයේ ඔහු 40 වැනි ඕවරය දක්වාම සිය කඩුල්ල ආරක්‍ෂාකර ගැනීමයි. ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ වාසිය අත්කරගත්තේත් අවසන් ඕවර 10 න් ලබාගත් ලකුණු 90 නි.
ශාරීරික යෝග්‍යතාව අපේක්‍ෂිත මට්ටමට නොතිබීමෙන් මෙම වසර ආරම්භයත් සමඟ පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාරයන් සඳහා අවිශ්ක තෝරා නොගැණින. එහෙත් ශාරීරික යෝග්‍යතාව නියමිත මට්ටමට පවත්වාගැනීමේ වාසියත්, නිසි ආරම්භයක් ලබාගන්නා පිතිකරුවකු දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවත් දැන් අවිශ්ක අත්දැකීමෙන්ම දනී.

ඉතිරිව ඇත්තේ මෙම අත්දැකීම් සුහුරුව භාවිතා කිරීම පමණි. ජයග්‍රහණය ඒ පසුපස ඇදී එනු ඇත.
සීමිත ඕවර තරගයක් ජයගත හැක්කේ ඉවක් බවක් නැතිව පිත්ත වැනීමකින් නොව, බුද්ධිමත් ක්‍රීඩා රටාවකින් බව පහත වගුවෙන් පෙන්වා දෙනු ඇත.

(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවයෙනි)

 


අදහස් (1)

නොසිඳෙන බලාපොරොත්තුව
  • Raveendra Friday, 03 September 2021 05:28 PM

    කොල්ලනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්... අනාගතයේදීත් මෙවන් ජයග්‍රහණයන් ලබාගැනීමට ඔබලාට හැකි වේවා.. බින්දුසාර ප්‍රමුඛ විනීතයින් තිදෙනාටම මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.