Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භවූ 20 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටයට අද (14) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක තරගකාරීයන් 51 දෙනෙකු අතරින් 48 වැනි ස්ථානයට පත්වූවාය.
එහි ආරම්භක අදියර මූලික තරග වට හයකින් සමන්විත වූ අතර පස් වැනි මූලික තරගයට සහභාගි වූ නදීෂා තත්පර 53.63 කට සිය ඉසව්ව අවසන් කරමින් එම වටයේ අට වැනි ස්ථානයට පත් වූවාය. ඇයගේ තරග කාලය මූලික වටයේ සමස්ත ප්‍රතිපලයට අනුව 48 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබුණි.
ඒ අනුව මූලික වටයෙන්ම ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ඉවත් වීමට නදීෂා රාමනායකට සිදුවූවාය.
මූලික වටයේ හොදම තරග කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවෝ 24 දෙනෙක් අඟහරුවාදා (16) පැවැත්වෙන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදිෂා රාමනායක තරග වැදුණු පස් වැනි මූලික වටය ජය ගත් බහරේන් ක්‍රීඩිකා සැල්වා ඉඩ් නසාර් එහිදී වාර්තා කළ තත්පර 49.13 ක තරග කාලය මූලික වටයේ සමස්ත ප්‍රතිපලයන්ට අනුව හොදම තරග කාලය ලෙස වාර්තා වේ. 27 හැවිරිදි සැල්වා ඉඩ් නසාර් ඊයේ වන විටත් මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයේ පසු වූවාය. ඇගේ මීට පෙර ඉහළම ජාත්‍යන්තර ජයග්‍රහණය අතර 2019 - ඩෝහා ලෝක ශූරතා රන් පදක්කම (තත්පර 48.14) මෙන්ම 2014 - පැරිස් ඔලිම්පික් රිදී පදක්කම (තත්පර 48.53) සුවිශේෂී වේ.
කෙසේවූවත් 30 හැවිරිදි නදීෂා අද තරග වදින විට එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 177 වැනි ස්ථානයේ පසුවූවාය. ටෝකියෝ ලෝක තරගාවලියට ඇයට අවස්ථාව හිමි වූයේද ප්‍රසාද ලකුණු එකතුවෙනි. 2023 - බැංකොක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇය තත්පර 52.61 කට දිනා ගත් රන් පදක්කම ඉසව්වේ ඇගේ මෙතෙක් හොදම දක්ෂතාවය ලෙසත් සටහන්වී තිබේ.
තත්පර 51.37 කට මීටර 400 නිමා කළ බ්‍රිතාන්‍යයේ 32 හැවිරිදි වික්ටෝරියා ඔහුරුඕගු අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගත් 24 වැනි (අවසන්) ක්‍රීඩිකාව වූවාය.
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන රුමේෂ් තරංග පතිරගේ හා සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ මූලික වටයට බදාදා (17) සහභාගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.