Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි පුහුණු තරගයත් ජය පැරදුමෙන් තොරයි

දෙවැනි පුහුණු තරගයත් ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි දෙදින පුහුණු තරගය අද (2 වැනිදා) ජය පරාජයකින් තොරව නිමාවට පත්විය.

දෙවැනි දිනය වූ අද තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 200 ක් ලබා එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතහැර දැමිණ.

තරගය නිමාවට පත්වන විට මනෝජ් සරත්චන්ද්‍ර හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද, ෂෙහාන් මධුෂංක හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක, පන්දු 64 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 64 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල බිඳවැටුණ අතර එතැන් පටන් රොෂේන් සිල්වා (29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අසලංක සමත් විය. අසලංක සමගම පිටියෙන් ඉවත්ව යන විට රොෂේන් පන්දු 83 කට මුහුණදී සිටියේය.

පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 47 ක් ලබා සිටි ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, අර්ධ ශතකය පෙනි පෙනී දුවද්දී දැවීයාමකට ලක්ව ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය.

ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් නායක ළහිරු තිරිමාන්න ලකුණු 3 කට දැවී ගිය අතර සධීර සමරවික්‍රමගේ ලකුණු 10 කට දැවී ගියේ ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමිනි.

ඔලී ස්ටෝන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා අෂාන් ප්‍රියංජන් ලකුණු 3 කට දැවී ගිය අතර ජැක් ලීච්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට කමිඳු මෙන්ඩිස් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එංගලන්ත ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ බෙන් ස්ටෝක්ස් පන්දු 58 කදී ලකුණු 53 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ ළහිරු කුමාර සමත් විය. එහිදී ළහිරුගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජෝ ඩෙනිලිද, කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර අතට උඩ පන්දුවක් දෙමින් ඔලී පෝප්ද ලකුණු නොළබා පිටියෙන් ඉවත්ව ගියහ.

ආරම්භක පිතිකරු කීටන් ජෙනින්ස් හතරේ පහර 7 ක් සමග ලකුණු 45 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඉනිම අත්හිටුවන විට පන්දුවට පහරදෙමින් සිටි සෑම් කරන් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක්ද, බෙන් ෆෝක්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.


-036

 


අදහස් (0)

දෙවැනි පුහුණු තරගයත් ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.