
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහිදී අද (25 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ජයග්‍රහණය ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ.
අක්සර් පතේල් යැවූ සුපිරි ඕවරයේදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදුන් කේන් විලියම්සන්ට සහ නායක ඩේවිඩ් වෝනර්ට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. රෂීඩ් ඛාන් යැවූ සුපිරි ඕවරයේදී ලකුණු 8 ක් ලබාගත් නායක රිෂාබ් පාන්ට් සහ ශිකර් ධවාන් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.
ශිකර් ධවාන් (28) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද ප්‍රිත්වි ෂෝ සමත් විය. රිෂාබ් පාන්ට් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, ස්ටීවන් ස්මිත් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද රැස්කරමින් දිල්ලි ඉනිම ශක්තිමත් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු 18 කට මුහුණදුන් ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් කේන් විලියම්සන් පන්දු 51 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 66 ක් ලබා හයිද්‍රාබද් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 159
(ප්‍රිත්වි ෂෝ 53, ශිකර් ධවාන් 28, රිෂාබ් පාන්ට් 37, ස්ටීවන් ස්මිත් නොදැවී 34, සිද්ධාර්ත් කෞල් 31/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 159
(ජොනී බෙයාස්ටෝ 38, කේන් විලියම්සන් නොදැවී 66, ජගදීෂ සචින් නොදැවී 14, අවේෂ් ඛාන් 34/3, අක්සර් පතේල් 26/2)

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.