Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනේෂ්ට කෝටි 5 ක තෑග්ගක්

දිනේෂ්ට කෝටි 5 ක තෑග්ගක්

editorial - 2021 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර තරග ජයග්‍රහනයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් හිමි වන විශාලතම මුදල් ත්‍යාගය පැරලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.  ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ඊයේ (1) රාත්‍රියේ ගන්නා ලදි.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් සමිත දුලාන් කොඩිතුවක්කුට මිලියන 20 ක් හෙවත් රුපියල් කෝටි දෙකක මුදලක් හිමිවනු ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පැවසුවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙම ජාත්‍යන්තර රන් පදක්කම දිනා ඇත්තේ ලෝක වාර්තාවක් සහිතව බැවින් ඔහුට රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා දෙන ත්‍යාග මුදල තීරණය කිරීමේදී ඔහු පිහිටු වූ ලෝක වාර්තාව කෙරෙහි ද අවධානය යොමු කළ බවයි.

“ජාතික ක්‍රීඩා සභාව ජාත්‍යන්තර තරග ජයග්‍රහන ලබන ශ්‍රී ලාංකිකයන්ට ත්‍යාග මුදල් නිර්දේශ කිරීමේදී ලෝක වාර්තාවක් පිහිටුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් වෙලා නෑ. ඒ නිසා මේ වෙලාව දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවත් අවධානයට යොමු කරලා මේ ත්‍යාග මුදල තීරණය කළ යුතුයි.” යයි විජේකෝන් මහතා පැවසීය.

වසර 2000 ‘සිඩ්නි’ නුවරදී පැවති ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහට මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් හැරෙන්නට කොළඹින් නිවසක් හා තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රදානය කෙරුණි. ඒ සුභ පතන්නන් පෞද්ගලිකව ලබාදුන් ත්‍යාග මුදල් හා වෙනත් ත්‍යාග ප්‍රදානයන්ට අමතරවය.

මේ අතර රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් හෙට්ටිආරච්චි ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා නිල තරග කාලසටහනට අනුව හෙට (3) පාන්දර දිවයිනට ලඟාවීමට නියමිතව තිබිණ. එහෙත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා ටෝකියෝ පැරලිම්පික් ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එහි නිල සමාප්ත උත්සවය අවසන් වන ලබන ඉරිදා (5) දක්වාම  ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටින අය සමඟ රැඳී සිටීමට අවසර හිමිවී තිබේ.

දිවයිනට පැමිණීමේ අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත්, ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි පිරිස ලබන අඟහරුවාදා (7) පස්වරු 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ළඟාවීමට නියමිතය.

එහිදී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයේ දී රන් පදක්කම්ලාභින් රතු පලස එලා පිළිගැනීමට කටයුතු  යොදා තිබේ.

කොවිඩ් නිවාරණ රෙගුලාසිවලට අනුකූලව ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් ගුවන් තොටුපොලේදී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට පෙර ඔවුන් ක්ෂණික පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කෙරේ.

එයින් පසුව පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතර එහි මාධ්‍ය ආවරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ සෙසු මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු යොදා තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විවේක ගැනීම හා අනෙකුත් පහසුකම් සඳහා තරු 5 සංචාරක හෝටලයක් ද මේ වනවිට වෙන්කර තිබේ.

ටෝකියෝ පැරලිම්පික් උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු ඔවුන්ගේ පුහුණුකරුවන් හෙට (3) පස්වරුවේ දිවයිනට ළඟාවේ.

 


අදහස් (0)

දිනේෂ්ට කෝටි 5 ක තෑග්ගක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.