Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දැළ රකින්නා ක්‍රොඒෂියාවම රැකගනී

දැළ රකින්නා ක්‍රොඒෂියාවම රැකගනී

Nisanka Sandeepani - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැළ රකින්නා වූ ඩැනිජෙල් සුබාසික් අවස්ථා තුනකදීම පන්දුව රැක ගැනීමට සමත්වීම නිසා දඬුවම් පහර 3-2 කින් ඩෙන්මාර්කය පැරදවූ ක්‍රොඒෂියාව 2018  පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තේරීමට සිදුවූයේ තරගයේ සම්පූර්ණ කාලයේදිත්, ඉන් පසුව ලබාදුන් අතිරේක කාලයේදිත් දෙපිලම ගෝල 1-1 කින් තරගය සමකරගැනීම නිසාය. 

1998 වසරේ තරගාවලියෙන් පසුව ක්‍රොඒෂියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පළමු වතාවටය. තරගය නිෂ්නි නවුගොරෝඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිළිමළුන් පිටුදැකීමේ වටයේදී තරගයක් සමවීම දෙපිලේහිම කනගාටුවට කරුණක් වන අතරම දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තේරීමට සිදුවීම ක්‍රීඩකයන්ගේ බයාදු ගතිය වැඩි කරවන්නකි. තරගයේ අතිරේක කාලයේ අන්තිම මොහොතේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ජයග්‍රහණය අත්කරගැනීමේ කදිම අවස්ථාවක් ක්‍රොඒෂියාවට ලැබුණත් එවර ලූකා මොඞ්රික් ගැසූ පහරින් ඇදී ගිය පන්දුව පහර අතිදක්ෂ අයුරින් රැකගැනීමට කැස්පර් ෂූමිචෙල් සමත්විය. මේ විශිෂ්ට ගෝල් රකින්නා දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීමේදිත් අවස්ථා දෙකකදීම පන්දුව ඉවතට තල්ලු කිරීමට සමත්විය. එහෙත් අයිවන් රැකිටික් ගැසූ  තීරණාත්මක අවසන් පහරින් ගිය පන්දුව  රැක ගැනීමට ඔහුට නොහැකි විය. 

ඒ ගෝලය සාර්ථක කරගැනීමත් සමග ක්‍රොඒෂියානු ක්‍රීඩකයන්ගේ සතුට දෝර ගලන්නට පටන් ගත්තේය. ඔවුන් තීරණාත්මක ගෝලය ලැබූ රැකිටික් වට කරමින් ජයග්‍රහණය සමරද්දී ඩෙන්මාර්කයේ ක්‍රීඩකයෝ වේදනාවෙන් බරිතවූ මුහුණින් යුතුව කරබාගෙන යන්නට ගියහ. 

මේ තරගයේ නියමිත කාලයේ දී ගෝල 1-1 කින් සම තත්ත්වයට පත්වූයේ පළමු මිනිත්තු 4 දී වීම කැපී පෙනුණි. ඉන් අනතුරුව ගතවූ කාලය තුළ ක්‍රීඩාලෝලීන් හුනස්නෙන් නැගිටවන්නට දෙපිලේහිම ක්‍රීඩකයන් අවස්ථා කිහිපයකදීම සමත්වූවත් ඒවා නිමාවට පත්වූයේ කඩවුණු බලාපොරොත්තු ලෙසිනි.

ඩෙන්මාර්කය ගෝල 1-0 කින් පෙරමුණ ගත්තේ තරගයේ පළමු මිනිත්තුවේදීමය. මතායෙස් ජොර්ගෙන්සන්ගේ පහරින් ඇදී ගිය පන්දුව ක්‍රොඒෂියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් දෙදෙනකුගේ පාද අතරින් රිංගා ගොස් ගෝල රකින සුබාසික් පරයා දැල තුළට පතිත විය. තත්පර 57 කින් වාර්තා වූ ඒ ගෝලය ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ගෝලය ලෙසත් වාර්තාපොතට එක්විය. ඊට පෙර වේගවත්ම ගෝලය වාර්තා වූයේ 2014 තරගාවලියේ ඝානා පිලට එරෙහිව පැවැති තරගයේදී අමෙරිකාවේ ක්ලින්ට් ඩෙම්ප්සි තත්පර 29 කින් ලබාගත් ගෝලයයි.

ක්‍රොඒෂියාවේ බලාපොරොත්තු දැල්වූ මාරියෝ මැන්ඞ්සුකික්ගේ අනගි ගෝලය වාර්තා වූයේ සිවුවැනි මිනිත්තුවේදීය. 
ක්‍රොඒෂියාවේ මීළඟ අභියෝගය වන්නේ ඊයේ පැවැති අනිත් තරගයෙන් ස්පාඤ්ඤය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි සත්කාරකයන්ගේ ඉවසීම පරික්ෂා කිරිමය. ඒ තීරණාත්මක තරගය 7 වැනිදා සොචි නුවර ෆිෂ්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

- 077


අදහස් (0)

දැළ රකින්නා ක්‍රොඒෂියාවම රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.