Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය ග්‍රේස් පිලට ජය ගෙනයි

දසුන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය ග්‍රේස් පිලට ජය ගෙනයි

editorial - 2021 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මිනෝද් භානුකගේ (74) අර්ධ ශතකයක්, නුවනිඳු ප්‍රනාන්දුගේ (47) සහ දසුන් ශානකගේ (නොදැවී 48) පිතිහරඹයත් හේතුවෙන් ආරාධිත විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීම ග්‍රේස් පිල සමත්විය. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 42 ක ජයක් හිමිකරගත් ග්‍රේස් පිල ශූරතාවට හිමිකම් කීවේය.

දක්ෂ පන්දු රැකීමෙන් මෙන්ම පන්දු රැකීමේදී සිදුවන දුර්වලතා හේතුවෙන්ද තරගයක ජය පරාජය තීරණය කිරීමට හැකිවනු ඇත. අද පැවැති තරගයේදී මිනෝද් භානුක ලබාදුන් පහසු උඩපන්දු දෙකක් සංතුෂ් ගුණතිලක අතින් ගිලිහීයාම හේතුවෙන් ලකුණු 200 සීමාව කරා යාමට ග්‍රේස් පිලට හැකිවිය. එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු සහ සීකුගේ ප්‍රසන්න ලබාදුන් උඩපන්දු දෙකක් පුලින තරංග විසින් දක්ෂ ලෙස රැකගැනීම හේතුවෙන් ඉනිම ආරම්භයේදීම රෙඩ්ස් පිලේ කොදු නාරටික බිඳ දැමීමට ග්‍රේස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් පිලට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණී.

මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 35 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට පන්දු යවන්නන් සමත් වුවද සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඕෂධ ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් ලබාසිටියදී දැවී ගියේය. ඔහුගේ දැවීයාමත් සමගින් රෙඩ්ස් පිලේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාලවූ අතර ජයග්‍රහණයද ඔවුන්ගෙන් ගිලිහී ගියහ.

අසේල ගුණරත්න පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 22 ක් සහ අකිල ධනංජය පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වූහ.

කඩුලු 2 බැගින් දවාගනිමින් පිතිකරුවන් මෙල්ල කළ නුවන් ප්‍රදීප්, පුලින තරංග සහ මතීෂ පතිරණ ග්‍රේස් පිලට ශූරතාව දිනා දීමට දායක වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දසුන් ශානක නායකත්වය දුන් ග්‍රේස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 201 ක් රැස්කිරීමට සමත්විය.

මිනෝද් භානුක සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 58 කදී ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නුවනිඳු ප්‍රනාන්දු ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහා නායක දසුන් ශානක සමගින්ද පන්දු 22 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මිනෝද් භානුක පන්දු 51 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත් අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු 36 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම ග්‍රේස් පිල දමාදුන්නේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් බලාපොරොත්තු නොවූ ලකුණු සංඛ්‍යාවක් කරා ග්‍රේස් පිල රැගෙන ගියේය.

රෙඩ්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද තරමක සාර්ථකත්වයක් පෙන්වීමට සමත්වූයේ අකිල ධනංජය පමණී. සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකළ ධනංජය කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ග්‍රේස් පිලේ නායක දසුන් ශානක සම්මාන දිනාගත් අතර අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය එම පිලේම මිනෝද් භානුක විසින් දිනාගන්නා ලදී.


ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 201
(මිනෝද් භානුක 74, නුවනිඳු ප්‍රනාන්දු 47, දසුන් ශානක නොදැවී 48, අකිල ධනංජය 24/2)

රෙඩ්ස් පිල - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 159
(ඕෂධ ප්‍රනාන්දු 46, අසේල ගුණරත්න 22, අකිල ධනංජය නොදැවී 25, නුවන් ප්‍රදීප් 17/2, පුලින තරංග 27/2, මතීෂ පතිරණ 28/2)


අදහස් (0)

දසුන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය ග්‍රේස් පිලට ජය ගෙනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.