Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් ශානක තමයි හොඳටම ‍කළේ
වි20 ලෝක කුසලාන මතක

දසුන් ශානක තමයි හොඳටම ‍කළේ

editorial - 2021 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නිමා වී දින කිහිපයක් ගත වුවද, තරගාවලිය අතරතුර සිදුවූ බොහෝ දෙනාගේ නෙත නොගැටුණ අතිශය රසවත් සිදුවීම් කිහිපයක් තිබේ. එවායින් කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය.


දසුන් ශානක තමයි හොඳටම ‍කළේ
 
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානකට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට පිළිතුරු සැපයීමට සිදුවිය. නිමා වූ තරගාවලිය ගැන සහ එළඹෙන තරගාවලි ගැන මෙන්ම ක්‍රීඩකයන් ගැන ඇසූ ප්‍රශ්නද ඊට ඇතුළත් විය.

ඒ අතර මෙරට ශ්‍රී ලංකාව් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් දසුන්ගේ පමණක් නොව එතැන් සිටි සියලු දෙනාගේම මුවගට සිනහවක් එක් කළේය.

“හැමෝම අහනවා වනිඳු හසරංග කරපු හැටි, චරිත් අසලංක කරපු හැටි, කවුරුත් අහන්නෙ නෑ දසුන් ශානක කරපු හැටි, බලද්දී ඔබ තමයි තිරය පිටුපස ඉඳලා හොඳටම කරලා තියෙන්නෙ, ඒ ගැන ‍මෙනවද ඔබට කියන්න තියෙන්නේ” යන්න එහිදී මාධ්‍යවේදීයා ‍යොමුකළ ප්‍රශ්නය විය.

ඔහු ප්‍රශ්නය අසා නිම වූ සැනින් දසුන්ට හීන් හිනාවක් පහළ වූ අතර එය ඔහුට තමාගෙන් කණ්ඩායමට ඉටුවූ සේවය පිළිබඳව පැවසීම සඳහා නිපන්දුවකට හමුවූ නිදහස් පහරක් බඳු විය. මාධ්‍යවේදීයාගේ ප්‍රශ්නය මෙටර ප්‍රධාන පුරවැසියකුගේ කියමනකට සමාන වීම එම සිදුවීම තවත් රසවත් වීමට හේතු විය.

 


ෂොයිබ් මලික් මස්සිනා
මේ දක්වා පැවැති සෑම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකටම ප‍ාහේ සහභාගි වී ඇති පාකිස්තාන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන ෂොයිබ් මලික්, ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී හරි අපූරු අත්දැකීමකට මුහුණ දුන්නනේය.

ඉන්දු - පාකිස්තාන තරගවලදී ප්‍රේක්ෂකයන් අතර අඩ දබර ගැටුම් නොඅඩුව දැක ගත හැකි වුවත්, මෙවර තරගාවලියේදී මලික්ට මුහුණදීමට සිදුවූ‍යේ කිසි‍සේත්ම ඔහු බලාපොරොත්තු නොවූ සිදුවීමකටය. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටියදී ඉන්දීය ක්‍රීඩා ‍ලෝලීන් පිරිසක් ඔහුට දිගින් දිගටම මස්සිනා යනුවෙන් ඇමතීමට පටන් ගත්‍හ.

මලික්ගේ බිරිඳ වන ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා ඉන්දීය ජාතික කාන්තාවක් වන නිසා ඔවුන් එලෙස ඇමතූ අතර අලුත් නෑකමට සිනහවෙන් ප්‍රතිචාර දැක්වූ මලික්, ඔවුන්ට අත වනමින් ආචාර කිරීමට තරම් නිරහංකාර විය.

 


මගේ ඉංග්‍රීසි විනාඩි 5 න් ඉවරයි
මෙවර තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේදී තමන් සහභාගි වූ පළමු තරගයේදීම ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 130 ක වාර්තාගත ජයක් ලැබීය. එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමු‍වට පැමිණි විගස එහි සිටි මාධ්‍යවේදීන් සංඛ්‍යාව දුටු නායක මොහොමඩ් නබී‍ගේ ඇස් උඩ ගියේය.

අද නම් තමාට ම‍ාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලින් පැයකටවත් ගැලවීමට ඉඩක් නො‍ලැබෙනු ඇතැයි සිතූ නබී, එම මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවූ නිලධාරියාගෙන් ප්‍රශ්න කොපමණ ඇත්දැයි විමසා සිටියේය.

නිලධාරියාගෙන් ඊට පිළිතුරක් ලැබීමටත් පෙර ඔහු පෙරළා කියා සිටියේ “ප්‍රශ්න කියක් තිබුණත් මගේ ඉංග්‍රීසි නම් විනාඩි 5 න් ඉවර වෙනවා” යැයි කියාය.‍

 

ගේල්ගේ ස්තූති කිරීම
මෙවර තරගාවලියේ ඕස්‍ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති තරගය ක්‍රිස් ගේල්ගේ අවසන් විස්සයි-20 ලෝක කුසලාන තරගය විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වෝ ලකුණු 157 ක් ලබාගත් නමුත් සිය අවසන් තරගයේදී පිත්තෙන් යමක් කර පෙන්වීමට ‍ගේල් අපොහොසත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ, 15 වැනි ඕවරය නිමාවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණයට ලකුණු 8 ක් පමණක් පසුපසින් සිටියහ. තමන්ට තරගය ජයගැනීමට කිසිදු ඉඩක් නොමැති බව දැනගත් කොදෙව් නායක කිරන් පොලාඩ් අවසන් තරගයට ක්‍රීඩා කළ ගේල්ට සිහිවටනයක් ලෙස ඕවරයක් යැවීම සඳහා අවස්ථාව ලබාදුන්නේය.

සිනහමුසු මුහුණින් යුතුව පන්දුව අතට ගත් ගේල්, ඒ වන විට ඩේවිඩ් වෝනර් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 75 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනගා සිටි මිචෙල් මාෂ් දවාගනිමින් එය තමාට අමතක නොවන සිදුවීමක් බවට පත්කර ගත්තේය.

ඉනිමේ සිවුවැනි ඕවරයෙන් පසුව කිසිදු කොදෙව් පන්දු යවන්නකුට කඩුල්ලක් දවාගත නොහැකි වූ බැවින් ගේල් දවාගත් කඩුල්ල ඔහු සමග එක්ව රිසි ලෙස සැමරීමට ‍කණ්ඩායමේ සගයෝද එක්වූහ. එකවරම සැමරීම නතර කර දැවී ගිය මිචෙල් මාෂ් පසුපස දිව ගිය ගේල් ඔහුව වැළඳගෙන “කඩුල්ලට ස්තූති” යැයි කීවේ එම සිදුවීම තවත් රසවත් කරමිනි.

 


ඩේවිඩ් වෝනර් රොනාල්ඩෝගේ අඩි පාරේ
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමු‍වට පැමිණි ඩේවිඩ් වෝනර්ගේ නෙත ගැටුණේ මේසය මත තබා තිබූ බීම බෝතල් දෙකකි. ටික වේලාවක් ඒ දෙස හොඳින් බලා සිටි ඔහු, “රොනල්ඩෝට එපා නම් මේවා මටත් එපා” යැයි කියමින් බෝතල් දෙක බිමින් තැබුවේය.

“ඔබ අකැමැති වුවත් අනුග්‍රාහකයන් වෙනුවෙන් අපිට එය කරන්න සිදුවෙනවා” යැයි මාධ්‍ය හමු‍ව මෙහෙයවූ නිලධාරියා වෝනර්ට පැවසීමත් සමග ඔහු නැවතත් බෝතල් දෙක රැගෙන මේසය මත තබමින් කියා සිටියේ “ඔව් අනුග්‍රාහකයො නම් හැමෝටම ඕන තමයි” කියාය‍.

 
හර්බජාන්ට අක්තාර්ගෙන් ඔච්චම්
කාගේත් අවදානයක් දිනාගත් ඉන්දු - පාකිස්තාන තරගයට පෙර එක්තරා මාධ්‍ය නාලිකාවක් දෙරටේම හිටපු ක්‍රීඩකයන් මුහුණට මුහුණ කැඳවා තරගය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී එක් අවස්ථාවක ගජ මිතුරන් ලෙස සැලකෙන ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං සහ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් මුහුණට මුහුණ ගැටිණ.

හුදෙක් රසවත් වාග් සංග්‍රාමයක් වූ එහි අවසානයේදී සිනහ මුසු ස්වරයකින් හර්බජාන් කියා සිටියේ ඉන්දු - පාකිස්තාන තරග පැවැත්වෙන සෑම අවස්ථාවකම පාහේ තමා සහ අක්තාර් අතර මත ගැටුම් හටගන්නා බවත්, එම නිසා එවැනි තරග නොපවත්වා ඉන්දියාවට නිතරග ජයක් ලබාදීම වඩාත් සුදුසු බවත්ය.  

තරග වැදුණද ඉන්දීය ක්‍රීඩකයයෝ පහසුවෙන්ම පාකිස්තානය පරාජය කරන බැවින් තරගයක් පැවැත්වීම කාලය කා දැමීමක් බවද එහිදී ඔහු කියා සිටියේය. ඊට පිළිතුරු දැක්වූ අක්තාර් කියා සිටියේ “ටිකක් ඉවසලා ඉන්න අපේ වේග පන්දු යවන්නන්ගේ තරම පෙන්වන්නම්” යැයි කියාය.

අක්තාර්ගේ කියමන සනාත කරමින් පාකිස්තාන ‍වේග පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස ආසාර්ථක වූ ඉන්දීය කණ්ඩායම එම තරගයෙන් කඩුලු 10 ක නින්දා සහගත පරාජයක් ලැබීය. තරගය නිමා වීමෙන් අනතුරුව සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අක්තාර් කියා සිටියේ නිතරග ජයක් ලබාදීම සඳහා තමාට හර්බජාන් සිංව සොයා දෙන්න කියාය.

(සැකසුම - ශානුක අරවින්ද)


අදහස් (0)

දසුන් ශානක තමයි හොඳටම ‍කළේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.