Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ලකුණු 229 ක දැවැන්ත ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දකුණු අප්‍රිකාවට ලකුණු 229 ක දැවැන්ත ජයක්

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති ‍එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 229 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 400 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමු‍වේ ඕවර 22 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි.

ලකුණු 100 කට කඩුලු 8 ක් බිඳවැටී තිබියදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ගුස් ඇට්කින්සන් (35) සහ මාක් වුඩ් (43) සමත් වුවද, එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීම සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙරල්ඩ් කොයෙට්සර් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර ලුංගි න්ගිඩි සහ මාකෝ ජැන්සන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා කොයෙට්සර්ට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 399 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 67 කින් ලකුණු 109 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. මාකෝ ජැන්සන් (නොදැවී 75) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 151 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩගැනීමටද ක්ලාසන් සමත් විය.

එහිදි ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 42 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සැරසීමට ජැන්සන් සමත් විය. ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 75 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 85 ක්ද, රාසි වැන්ඩර් ඩසන් පන්දු 61 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය සැපයූහ.

 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 399
(රීසා හෙන්ඩ්‍රික්ස් 85, රාසි වැන්ඩර් ඩසන් 60, ඒඩ්න් මාක්‍රම් 42, හෙන්රිච් ක්ලාසන් 109, මාකෝ ජැන්සන් නොදැවී 75, රීස් ටොප්ලි 88/3, ගුස් ඇට්කින්සන් 60/2, ආදිල් රෂීඩ් 61/2)

එංගලන්තය - ඕවර 22 කදී සියලු දෙනා දැවී 170
(හැරී බෘක් 17, ගුස් ඇට්කින්සන් 35, මාක් වුඩ් නොදැවි 43, ජෙරල්ඩ් කොයෙට්සර් 35/3, ලුංගි න්ගිඩි 26/2, මාකෝ ජැන්සන් 35/2)


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 229 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.