
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ දිල්ලි නුවර අරුණ් ජයිට්ලි ක්‍රීඩාංගණයේ අද (1 වැනිදා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 5 ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ, කඩුලු 5 ක් දැවී පන්දු 13 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝජ් ලින්ඩේ (නොදැවී 30) සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් (නොදැවී 21) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
එහිදී පන්දු 21 කට මුහුණදුන් ලින්ඩේ හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. මැද පෙළ සවිමත් කළ ඩෙවොල්ඩ් බ්‍රේවිස් පන්දු 18 කින් වේගවත් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. රයන් රිකෙල්ටන් පන්දු 22 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, ඩේවිඩ් මිලර් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක දැවී ලකුණු 153 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා, හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 43 කින් ලකුණු 73 ක් රැස්කරමින් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය. ක්ලිව් මඩන්ඩේ පන්දු 20 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 153
(බ්‍රයන් බෙනෙට් 15, සිකන්දර් රාසා 73, ක්ලිව් මඩන්ඩේ නොදැවී 26, ක්වේනා මපකා 21/2, කෝබින් බොස්ච් 40/2)
දකුණු අප්‍රිකාව - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී 154
(රයන් රිකෙල්ටන් 31, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 42, ඩේවිඩ් මිලර් 22, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 21, ජෝජ් ලින්ඩේ නොදැවී 30, සිකන්දර් රාසා 29/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.