Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති
2023 - 2025 අවසන් තරගය

දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති

editorial - 2025 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලන්ඩන් නුවර, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් පරාජය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 2023 - 2025 චක්‍රය සඳහා වූ ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්තේය. මෙම ලෝක ශූරතාව, දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විසින් වසර 27 කට පසුව දිනාගන්නා ලද අන්තර්ජාතික ක්‍රිකට් සභා කුසලානයයි. 

අවසන් මහ තරගය ජයගැනීම සඳහා ලකුණු 282 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානුවෝ, තරගයේ සිව්වැනි දිනය වන අද (14 වැනිදා) දිවා ආහාරයට ස්වල්ප වේලාවකට පෙර, කඩුලු 5 ක් දැවී ලකුණු 282 ක් ලබාගනිමින් ටෙස්ට් ලෝක ශූරතාව අත්පත්කර ගත්හ. 

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදී සුවිශේෂී පිතිහරඹයක නිරත වූ ඒඩ්න් මාක්රම් සිය 8 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. නායක ටෙම්බා බවුමා සහ මාක්රම් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 147 ක සම්බන්ධතාව අද පෙරවරුවේදී බිඳී ගියත්, අවසානය අත පොවන මායිමට එන තුරුම පසුපස නොබැලූ ආරම්භක පිතිකරුවා, ට්‍රැවිස් හෙඩ්ගේ අගනා උඩපන්දු රැකීමක් හමුවේ දැවී ගියේය. 

ඩේවිඩ් බෙඩිංහැම් (නොදැවී 21) සහ කයිල් වර්රීන් (04) එක්ව කාර්යය අවසන් කළහ. 
සිව්වැනි දිනය වූ අද දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 69 ක් පමණි. එහෙත් ඒ වන විටත් ඕස්ටේ්‍රලියාවන්ගේ විතීවි අවස්ථා තුනම ඉතිරි වී තිබිණ. තරගයේ වාසිය ඇද ගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන් කෙතරම් දැඩි උත්සාහයක නිරත වූයේ ද යත් අද පෙරවරුවේදී ඔවුන්ගේ විතීවි අවස්ථා තුනම අපතේ ගියේය. 

දකුණු අප්‍රිකානුවන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලද තරගාවලියක ශූරතාව අවසන් වරට දිනාගන්නා ලද්දේ 1998 දී බංග්ලාදේශයේ පැවැති විල්ස් එක්දින ශූරතාවලියයි. පසුව ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෙසින් නම් කෙරුණේද 1998 දී ආරම්භ වූ පිළිමළුන් පිටුදැකීමේ එක්දින තරගාවලියයි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 212 යි
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 138 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 207 යි
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුලු 5 ට 282 යි

(ඒඩ්න් මාක්රම් 136, වියාන් මල්ඩර් 27, ටෙම්බා බවුමා 66, ඩේවිඩ් බෙඩිංහැම් නොදැවී 21, මිචෙල් ස්ටාක් 66/3)

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.