Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි
ආර්යා අභියෝග මේසපන්දු තරගාවලිය

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ ‘ආර්යා ප්ලස්’ අභියෝග මේසපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට කොළඹ ආනන්දු විදුහලේ සෙනුර ද සිල්වා සහ මහනුවර හිල්වුඞ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.

දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා ශූරතා කුසලාන සමගින් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගය බැගින් හිමිකර ගත්හ. තරගාවලියේ සෙසු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ටද කුසලාන සහ සහතික පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු කළහ.

වයස 17 න් පහළ බාලක අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලේ විනුක ගුණවර්ධනද, වයස 19 න් පහළ බාලක අවසන් මහ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහද පරාජය කිරීමට සෙනුර සමත් විය. ඔහු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ විවෘත පිරිමි යුගල අවසන් මහ තරගයේදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සමග එක්ව කොළඹ රාජකීය විදුහලේ තිසස් රංචාගොඩ සහ නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩද පරාජය කරමිනි.

කෙසේ වුවත් පිරිමි කේවල අවසන් මහ තරගයේදී තියුණු සටනකින් අනතුරුව වට 3-2 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමයේ ක්‍රිෂාන් වික්‍රමරත්න හමුවේ පරාජය වීම හේතුවෙන් සෙනුරට එම ඉසව්වේ අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

වයස 17 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂාධිද, වයස 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාෂෝක විදුහලේ මනීෂා සලින්දිද පරාජය කළ බිමන්දි, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ විවෘත කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ශූරතාද තමන් සතුකර ගනිමිනි.

කොළඹ කාන්තා විදුහලේ අයිලා ටිට්ටි සමග එක්ව කාන්තා යුගල අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාෂෝක විදුහලේ මනීෂා සලින්දි සහ සදුනි ප්‍රබුද්ධිකා පරාජය කළ බිමන්දි, විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමයේ ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්ව මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා පරාජය කළාය.

කෙසේ වුවත් කාන්තා කේවල අවසන් පූර්ව වටයේදී අයිලා චිට්ටි හමුවේ පරාජය වීම හේතුවෙන් බිමන්දිට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය. අර්ධ අවසන් පූර්ව වටයේදී වත්මන් ජාතික ශූරිය වන මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කළ අයිලා, අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා පරාජය කරමින් කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය.

බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. රයිගම් අළෙවි සේවා පුද්ගලික සමාගමේ ආර්යා සන්නාම විධායක නිරුෂි තියෙදොර් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූවාය.  

විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමය) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/06, 09/11, 11/06, 11/02)

පිරිමි යුගල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ චමීර ගිණිගේ (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-1 ක් ලෙස තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ නිමේෂ් රංචාගොඩ (නාවික හමුදාව) පරාජය කරන ලදහ. (11/03, 10/12, 11/06, 11/06)

කාන්තා කේවල
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා (නාවික හමුදාව) පරාජය කරන ලදි. (12/10, 11/07, 04/11, 07/11, 11/09)

කාන්තා යුගල
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මනීෂා සලින්දි සහ සදුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාෂෝක විදුහල) පරාජය කරන ලදහ. (12/10, 11/05, 11/09)

මිශ්‍ර යුගල
ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමය) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) පරාජය කරන ලදහ. (11/04, 08/11, 11/07, 05/11, 11/05)

ඡායාරූප – වරුණ කරුණාතිලක


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.