Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කණ්ඩායමේ දොම්නසටත්, කොදෙව් පිලේ අමන්දානන්දයටත් තුඩු දුන් විනාඩි කිහිපයක් හැරෙන්නට, ඇන්ටිගුවා ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ විශිෂ්ට සටනක නිරත වූහ. තරගයේ තුන්වැනි දිනය වූ අඟහරුවාදා (23 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 255 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට වඩා ලකුණු 153 ක් ඉදිරියෙන් සිටියේය.
කිසිදු අපසුවකින් තොරවම මුල් ඉනිමේ අවාසිය අකාමකා දමාගත් ළහිරු තිරිමාන්න (76) සහ ඕෂධ ප්‍රනාන්දු (91) දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 168 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. මෙම අවස්ථාවේ පන්දු යැවීමට කැඳවූ නිත්‍ය පන්දු යවන්නකු නොවන කයිල් මේයර්ස් විසින් පන්දු 10 ක් ඇතුළත ඕෂධ ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් විස්සෝපයට කාරණාවක් වූයේය.
එහෙත් කෝඩුකාරයා වන පැතුම් නිස්සංක (නොදැවී 21) සමග එක්වූ ‘අයිස් මෑන්’ හෙවත් ධනංජය ද සිල්වා (නොදැවී 46) පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 66 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් දිනය නිමාවන විට සැනසිලිදායක තත්ත්වයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ.
අඟහරුවාදා ක්‍රීඩාව ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිලට වාසිදායක ලෙසිනි.
ඒ වන විටත් කොදෙව් පිල සතුව ලකුණු 99 ක මුල් ඉනිමේ වාසියක් තිබුණ නමුත් උදෑසනම පන්දුව ඉල්ලා ගත් විශ්ව ප්‍රනාන්දු සිය පළමු ඕවරයේදීම කොදෙව් ඉනිම නිමා කළේය. කඩුල්ල වටා දිවයමින් පිතිකරුවා වෙත අවතීර්ණ වීමේ වෙනත් කෝණයක් සොයාගත් විශ්ව, ඩ්‍රයිව් පහරකට පිතිකරුවාට ආරාධනා කරමින් පන්දුව නියමිත සීමාවේ පතිත කළේය. ප්‍රතිඵලය වූයේ පාදයත් පිත්තත් අතර පැවැති පරතරයෙන් රිංගා ගිය පන්දුව රකීම් කොන්වෝල්ගේ මැද ඉන්න මත තිබූ බේල බිම හෙළීමයි. එයින් පන්දු දෙකකට පසුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ෂැනන් ගේබි්රයෙල්ද ආපසු ක්‍රීඩාගාරයට ගියේ කොදෙව් මුල් ඉනිමේ වාසිය ලකුණු 102 කට සීමා කරමිනි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භය නම් සිතු තරම් සිත්ගන්නා සුළු නොවීය. කෙමර් රෝච්ගේ පන්දුවක් හමුවේ ඩ්‍රයිව් පහරකට උත්සාහ කළ දිමුත් කරුණාරත්න ස්ලිප් හි සිටි ජෝන් කැම්බල් වෙතට උඩපන්දුවක් දෙමින් ලකුණු 3 කට දැවී ගියේය. ඒ වන විට ලකුණු 94 ක අවාසියකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පුවරුවේ තිබුණේ ලකුණු 8 ක් පමණි.
මෙවන් තත්ත්වයක් තිබියදී පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු සහ තිරිමාන්න එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියහ. කෙදෙව් වේග පන්දු යවන්නන් තිදෙනා වූ කෙමර් රෝච්, ෂැනන් ගේබි්රයෙල් සහ ජේසන් හෝල්ඩර් තිදෙනාම දිගින් දිගටම පිට ඉන්න එල්ලයේ පන්දු යවමින් තිරිමාන්න ඩ්‍රයිව් පහරකට පොළඹවා ගැනිමට උත්සාහ කළහ. එහෙත් ඒවා සම්බන්ධයෙන් නිසි තක්සේරුවක සිටි වමත් පිතිකරුවා එම පන්දු නිදැල්ලේ යාමට හැරියේය. නැතහොත් පෙර පාදයේ ආරක්ෂිත පහරකින් බිමට යොමු කළේය.
පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් තිරිමාන්න රඳවාගත් නමුත් අනෙක් අන්තයේ සිටි ඕෂධ ලකුණු ලබාගැනීමට තිබූ අවස්ථා අපතේ හැරියේ නැත. ඕනෑවට වඩා අවදානම් පහර කරා නොගිය ඕෂධ නිතරම පන්දුවට පහර දීමේ අවස්ථාව තිරිමාන්න සමග හුවමාරු කරගත්තේය. වාසනාවත් ඕෂධ සමග තිබුණේ ලකුණු 16 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ලෙග් ස්ලිප් හි සිටි ජේසන් හෝල්ඩර් වෙතින් ගිළිහී ගිය බැවිනි.
ලැබුණු වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඕෂධ සිය ටෙස්ට් දිවියේ දෙවැනි හොඳම ඉනිම කරා ගියේය. තවමත් ටෙස්ට් තරග 8 කට පමණක් සහභාගි වී ඇති ඕෂධගේ හොඳම ටෙස්ට් ඉනිම, පාකිස්තානයට එරෙහිව කරච්චියේදී ලබාගත් ලකුණු 102 කි.
තේ පානයෙන් පසුව මඳ වේලාවක් දක්වාම දෙදෙනාගේ සම්බන්ධතාව ඇදී ගිය අතර පන්දුව එන්න එන්නම මෘදු වීම හේතුවෙන් පිට ඉන්නට ඈතින් පන්දුව පතිත කළේ ලකුණු ලබාගැනීමේ අවදානම ගන්නා ලෙස පිතිකරුවන්ට අභියෝග කරමිනි.
ඕෂධගේ පිතිහරඹයේ විශේෂත්වය වූයේ දකුණත් පිතිකරුවා ඉතාමත් හොඳින් සිය පාද භාවිත කිරීමයි. ඇතැම් අවස්ථාවලදී රකීම් කොන්වෝල් හමුවේ සිය සීමාවෙන් පිටතට පැමිණ පන්දුවට මුහුණ දුන් ඕෂධ, වේග පන්දු යවන්නන් හමුවේ පසුපස පාදයේ නැතහොත් පන්දුව වෙතටම ගොස් ඊට මුහුණ දුන්නේය. ස්වීප් පහර මෙන්ම රිවර්ස් ස්වීප් පහරත් මැනවින් උපයෝගී කරගත් නමුත් ඔහුට ලබාගත හැකිව තිබූ අගනා ශතකයක් අහිමි විය.
සිය ටෙස්ට් තරග දිවිය පුරාම, පළමු වතාවට, එකම තරගයක ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට ළහිරු තිරිමාන්න සමත් වූයේය. පහර කරා යාමට වඩා තිරිමාන්න උත්සුක වූයේ කඩුල්ල එල්ලයේ එන පන්දුවට වලට මුහුණ දී, එම පන්දු වලින් තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගැනීමයි.
මන්දගාමී තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය මට්ටමක පැවතිණ. රකීම් කොන්වෝල් කිසියම් දඟ කැවීමක් ලබාගැනීමට සමත් වූ නමුත් කඩුල්ලක් දවාගැනීමට එය ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් පන්දු යවමින් සිටි කයිල් මේයර්ස් හමුවේ විනාඩි 10 ක් ඇතුළත කඩුලු දෙකක් බිඳවැටීම ශ්‍රී ලංකා පිලට අනපේක්ෂිත අකරතැබ්බයක් විය.
ඕනෑම විනාශයක් හමුවේ නොසැලී සිටින ආකල්පයක් සහිත පිතිකරුවකු වන බැවින්, “අයිස් මෑන්” යයි හඳුන්වන ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා ඉනිමේ වාසිය 153 ක් දක්වා ඉහළ දමමිනි.
ලකුණු පුවරුව | |
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 169 | |
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම | |
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ.ධනංජය ප.ලක්මාල් | 3 |
ජෝන් කැම්බල් - ඇ.දික්වැල්ල ප.චමීර | 42 |
නිකෲමා බෝනර් - ක.මු.කළා ප.ඇඹුල්දෙණිය | 31 |
කයිල් මේයර්ස් - ඇ.ධනංජය ප.ලක්මාල් | 45 |
ජර්මේන් බ්ලැක්වුඩ් - ප.ලක්මාල් | 2 |
ජේසන් හෝල්ඩර් - ප. ලක්මාල් | 19 |
ජොෂුවා ද සිල්වා - ඇ.දික්වැල්ල ප.චමීර | 46 |
අල්සාරි ජෝෂප් - ඇ.චන්දිමාල් ප.ලක්මාල් | 0 |
රකීම් කොන්වෝල් - ප.විශ්ව ප්‍රනාන්දු | 61 |
කෙමර් රෝච් - නොදැවී | 5 |
ෂැනන් ගේබි්රයෙල් - ක.මු.කළා ප.විශ්ව ප්‍රනාන්දු | 0 |
අතිරේක | 17 |
එකතුව ඕවර 103 කදී සියලු දෙනා දැවී | 271 |
කඩුලු වැටීම | |
1-13(බ්‍රැත්වෙයිට්), 2-69(බෝනර්), 3-95(කැම්බෙල්), 4-120(බ්ලක්වුඩ්), 5-133(මේයර්ස්), 6-169(හෝල්ඩර්), 7-171(ජෝෂප්), 8-261(ද සිල්වා), 9-271(කොන්වෝල්), 10-271(ගේබි්රයෙල්) | |
පන්දු යැවීම : | |
සුරංග ලක්මාල් : 24-9-45-5, විශ්ව ප්‍රනාන්දු : 17-6-52-2, දුෂ්මන්ත චමීර : 22-1-71-2, ලසිත් ඇඹුල්දෙණිය : 28-6-64-1, ධනංජය ද සිල්වා : 11-2-30-0 | |
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම | |
ළහිරු තිරිමාන්න - ප.රෝච් | 76 |
දිමුත් කරුණාරත්න - ඇ.කැම්බල් ප.රෝච් | 3 |
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ජොෂුවා ද සිල්වා ප.මේයර්ස් | 91 |
දිනේෂ් චන්දිමාල් - ඇ.ජොෂුවා ද සිල්වා ප.මේයර්ස් | 4 |
ධනංජය ද සිල්වා - නොදැවී | 46 |
පැතුම් නිස්සංක - නොදැවී | 21 |
අතිරේක - | 14 |
එකතුව ඕවර 86 කදී කඩුලු 4 ක් දැවී | 255 |
කඩුලු වැටීම : | |
1-08(දිමුත් කරුණාරත්න), 2-170(ඕෂධ ප්‍රනාන්දු), 3-178(දිනේෂ් චන්දිමාල්), 4-189(ළහිරු තිරිමාන්න) | |
පන්දු යැවීම: | |
කෙමර් රෝච් : 13-3-28-2, ෂැනන් ගේබ්‍රියෙල් : 11-2-30-0, ජේසන් හෝල්ඩර් : 14-4-22-0, අල්සාරි ජෝෂප් : 12-2-46-0, රකීම් කෝන්වෝල් : 25-3-85-0, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් : 7-1-24-0, කයිල් මේයර්ස් : 4-0-10-2, |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.