Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩී.එස්. ද සිල්වා දිවි සැරිය නිමකරයි

ඩී.එස්. ද සිල්වා දිවි සැරිය නිමකරයි

editorial - 2025 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ මංගල එක්දින තරගයේදී (1975) මෙන්ම මංගල ටෙස්ට් තරගයේදීත් (1982) ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දුර්ලභ වරම හිමිකරගත් ක්‍රීඩකයකු වූ ඩී. සෝමචන්ද්‍ර ද සිල්වා මහතා ඊයේ (15 වැනිදා) සිය දිවි සැරිය නිමා කළේය. ක්‍රිකට් පිටියේදී “ඩී.එස්.” යනුවෙන් වඩාත් ප්‍රචලිත ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු (තාවකාලික) නායකයා, ලන්ඩන් නුවර වාසය කළ අතර ටික කලක් අසනීපව සිටියේය. 

අභාවප්‍රාප්ත වන විට හෙතෙම 83 වැනි වියේ පසුවිය. 

ගාල්ලේ උණවටුණ ග්‍රාමයේදී උපත ලද ඩී.එස්. ද සිල්වා පළමුව ගාල්ල මහින්ද විද්‍යාලයටත් පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයටත් ක්‍රීඩා කළේය. ඩී.එස්. ගේ වැඩිමහල් සොහොයුරන් වන ඩී. එච්. ද සිල්වා සහ ඩී. පී. ද සිල්වාත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වූහ. ලංකා කණ්ඩායම වෙනුවෙන් 1967 දී ක්‍රීඩා කරමින් සිය අන්තර්ජාතික තරග දිවිය ආරම්භ කළ ඩී.එස්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසීමට පොරතුව, අර්ධ වෘත්තීය ක්‍රීඩකයකු ලෙසින් එංගලන්තයේ ‘ලින්කන්ෂයර්’ සහ ‘ෂෝප්ෂයර්’ කණ්ඩායම් නියෝජනය කළේය. 

1979 එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී, ටෙස්ට් වරම් නොමැති රටක් ලෙසින් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කරනු ලබන විටත් ඩී.එස්. ශ්‍රී ලංකා පිලේ සිටියේය. එහිදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ 11-1-29-3 ලෙසිනි. 

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ 1982 දී එංගලන්තයට එරෙහිව පැවැති ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගය වෙනුවෙනි. සිය කුළුඳුල් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට ඩී.එස්.ගේ වයස අවුරුදු 39 කි. ඔහු අදටත් සැලකෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පා තැබූ වයස්ගතම ක්‍රීඩකයා ලෙසිනි. 

ඩී.එස්. ද සිල්වා ටෙස්ට් තරග 12 කදී කඩුලු 37 ක් දවාගත් අතර 1982 පාකිස්තානු සංචාරයේදී ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙසින් සටහන් වෙයි. ඩී.එස්. මෙම තරගයේදී කළ පන්දු යැවීම නිසාම (ශ්‍රී ලංකාවේ තුන්වැනි ටෙස්ට් තරගය) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ අද්දරටම පැමිණියේය. ලකුණු 339 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 7 කට ලකුණු 186 ක් ලබා සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ටෙස්ට් ඉනිමකදී මුල්ම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5 ක් දවාගන්නා ලද්දේ ද ඩී.එස්. ද සිල්වා විසිනි.

1983 නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුලිප් මෙන්ඩිස් තුවාල ලැබීමත් තවත් ක්‍රීඩකයන් සිව් දෙනකු අසනීප වීමත් නිසා ටෙස්ට් තරග දෙකකදී ශ්‍රී ලංකාවට නායකත්වය දුන් ඩී.එස්, ශ්‍රී ලංකාවේ වයස්ගතම ටෙස්ට් සහ එක්දින නායකයා ලෙසින් ද ක්‍රිකට් වාර්තා පොතට එක්විය. ඒ වන විට හෙතෙම 40 වැනි උපන් දිනයත් පසුකර සිටියේය. 

ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වූයේ 1984 දී ලෝඩ්ස් පිටියේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයයි. එම තරගයට ක්‍රීඩා කිරීමට පෙර ව්‍යායාම කරමින් සිටි ඩී.එස්. ගේ පාදයේ වළලුකර ආබාධයකට ලක්විය. තමන් ක්‍රීඩා කිරීමට නුසුදුසු තත්ත්වයක සිටින බව ඩී.එස්. ම කියා සිටි නමුත් එංගලන්තයේ ක්‍රීඩා කිරීමෙන් ඔහු ලබා තිබූ අත්දැකීම් සහ ඔහුගේ කඩුලු ලබා ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුකර සිටි කණ්ඩායම් කළමනාකාරිත්වය තරගයට එක්වන්න’යි ඩී.එස්. ගෙන් ඉල්ලා සිටියේය. පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඩී.එස්. එම තරගයේදී දීර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 45 කදී ලකුණු 85 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

1985 දී ඕස්ටේ්‍රලියාවේදී පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතාවලිය (ලෝක කුසලාන තරගාවලියක් නොවේ) ඩී.එස්.ගේ අවසන් අන්තර්ජාතික තරගාවලිය විය. එහෙත් වේග පන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට නතුවූ එම තරගාවලිය ඩී.එස්. ට නම් සතුටුදායක ප්‍රතිඵල ගෙනාවේ නැත. ඒ වන විටත් 43 වැනි වියේ සිටි පා දඟ පන්දු යවන්නා තමන්ගේ අන්තර්ජාතික තරග දිවිය එතැනින් හමාර කළේය. 

ක්‍රීඩා දිවියෙන් පසුව, ඔහු පුහුණුකරුවෙකු, කණ්ඩායම් කළමනාකරුවෙකු සහ ජාතික තේරීම් කමිටු සාමාජිකයකු ඇතුළු විවිධ තනතුරු වල සේවය කළේය. වසර 2000 දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් පත්වූ ඩී.එස්. එම වසරේදී යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වාම යාමට ශ්‍රී ලංකා පිලට ගුරුහරුකම් දුන්නේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් එදා-මෙදා තුර ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට ක්‍රීඩා කළ එකම අවස්ථාව ද එයයි. 

ඩී.එස්. ද සිල්වා, ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේදී (1982) සහ මංගල එක්දින තරගයේදීත් (1975) ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් සිව් දෙනාගෙන් අයෙක් ද විය. බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස් සහ ලලිත් කළුපෙරුම මෙම දුර්ලභ වරම හිමිකරගත් අනෙක් ක්‍රීඩකයෝ වෙති. 

ඩී.එස්. ද සිල්වා මහතා කලක් එංගලන්තයේ මෙන්ම නෙදර්ලන්තයේත් වාසය කළේය. පසුව 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටුවේ සභාපතිවරයා ලෙසින් පත්වූ හෙතෙම 2011 ලෝක කුසලාන තරගාවලිය දක්වාම එම තනතුරේ කටයුතු කළේය. 


අදහස් (0)

ඩී.එස්. ද සිල්වා දිවි සැරිය නිමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.