Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩි'කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඩි'කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

editorial - 2023 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 149 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 383 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 233 ක් පමණි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී, එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් මහමදුල්ලා රියාද් පන්දු 111 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 111 ක් රැස්කළ නමුත් බංග්ලාදේශය කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ජෙරල්ඩ් කොයෙට්සර් ලකුණු 63 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර මාකෝ ජැන්සන්, කගිසෝ රබාඩා සහ ලිසාඩ් විලියම්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් ලබාගැනීමට සමත් විය. ඔවුන් මෙම තරගාවලියේදී ලකුණු 350 සීමාව පසුකර ගිය තෙවැනි අවස්ථාවද මෙය විය. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක්, පන්දු 140 කින් ලකුණු 174 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි.

මෙම ඉනිමත් සමග එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම වාර සංඛ්‍යාවක් (3) ලකුණු 150 සීමාව පසුකර ගිය කඩුලු රකින්නා බවට පත්වීමට ඩි’කොක්ට හැකි විය. ලෝක කුසලාන තරගයකදී දකුණු අප්‍රිකානු පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරග‍යකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය.

ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායක ඒඩ්න් මාක්‍රම් (60) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137 කදී ලකුණු 131 ක් එක්කළ ඩි’කොක්, ඉන් නොනැවතී හෙන්රිච් ක්ලාසන් (90) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 147 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී පන්දු 69 කට මුහුණදුන් මාක්‍රම් හ‍තරේ පහර 7 කින් සිය 9 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර ප්‍රවේගකාරී පිහිරඹයක නිරත වූ ක්ලාසන්, පන්දු 49 කදී වාර්තා වූ සිය 6 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 15 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් එහිදී නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි.

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 382
(ක්වින්ටින් ඩි’කොක් 174, ඒඩ්න් මාක්‍රම් 60, හෙන්රිච් ක්ලාසන් 90, ඩේවිඩ් මිලර් නොදැවි 34, හසන් මහමුද් 67/2)

බංග්ලාදේශය - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 233
(ලිටන් දාස් 22, මහමදුල්ලා රියාද් 111, නසුම් අහමඩ් 19, හසන් මහමුද් 15, ජෙරල්ඩ් කොයෙට්සර් 62/3, මාකෝ ජැන්සන් 39/2, කගිසෝ රබාඩා 42/2, ලිසාඩ් විලියම්ස් 56/2) 

 


අදහස් (0)

ඩි'කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.