Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙස්ට් නායකත්වය ධනංජයට

ටෙස්ට් නායකත්වය ධනංජයට

editorial - 2024 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉදිරිපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා වශයෙන් නම්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (03 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මෙතෙක් කලක් නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න තව දුරටත් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් ක්‍රීඩා කිරීමට නියමිතය. 

ධනංජය ද සිල්වා මේ දක්වා ටෙස්ට් තරග 51 කට සහභාගි වෙමින් ශතක 10 ක් ද සමග ලකුණු 3301 ක් රැස්කර තිබේ. එක්දින තරග 90 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 39 කට සහභාගි වී ඇතත් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට ධනංජය ඇතුළත් කර නැත. 

නායකයකු වශයෙන් ධනංජය සහභාගි වන පළමු ටෙස්ට් තරගය මේ මස අගදී ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ සිටින කුසල් මෙන්ඩිස් සහ විස්සයි-20 කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ සිටින වනිඳු හසරංග දෙදෙනා සමගින් දීර්ඝ ගමනක් යාමට සූදානමින් සිටින බව අලුතෙන් පත්කරන ලද තේරීම් කමිටුව කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා එසේ කීවේය. 

“කුසල්ට වුණත් නායකත්වය ලැබුණේ ලෝක කුසලාන තරගාවලියේදී දසුන් ආබාධයකට ලක්වුණ නිසයි. ඒ නිසා එයාට සාධාරණ කාලයක් දෙන්න ඕනේ” 

“අනෙක තව මාස පහකින් හයකින් වගේ කාලෙකින් අපි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට යන්නත් තියෙනවා... මේක අලුත් වකවානුවක්. ඒ නිසා ඊළඟ ලෝක කුසලාන තරගාවලිය (2027 දී) වෙනකම් විතර මේ ඉන්න දෙන්නාගෙන් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා” යයි උපුල් තරංග මාධ්‍ය හමුවේ පැවසීය. 

“හොඳ ආරම්භයක් ලබාගන්නා කවුරු වූණත් දිගු ඉනිමකට යන්න ඕනේ. අනෙක අපේ පිතිකරුවන්ගේ කිසිම ස්ථාවර බවක් නෑ.. එක තරගයකදී හොඳින් සෙල්ලම් කරන කෙනා අනෙක් තරගයේදී අසාර්ථක වෙනවා... එහෙම ගිහින් තරග දිනන්න බෑ” යයි ද උපුල් තරංග මහතා වැඩිදුරටත් පැවසීය.

විස්සයි-20 අන්තර්ජාතික තරග 58 කදී කඩුලු 91 ක් දවාගෙන සිටින වනිඳු හසරංග වසර හයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නෙකි. 


අදහස් (0)

ටෙස්ට් නායකත්වය ධනංජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.