Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්ත නායක ජෝ රූට් පිට පිටම ලබාගත් දෙවැනි ශතකය නිසා හිස් ඔසවාගත් එංගලන්ත ක්‍රීඩකයෝ ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) තේ පානය වන විට තරගයේ වාසිය තමන් වෙත ඇදගනිමින් සිටියහ. තේ පානය වන විට එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියේ ඉන්දියානුවන්ට වඩා ලකුණු 50 ක් පසුපසින් සිටිමිනි. එහෙත් එංගලන්තය සතුව කඩුලු 5 ක් තිබේ.

පසුගිය සතියේ නිමාවූ පළමු ටෙස්ට් තරගයේදීත් ලකුණු 64 ක් සහ 109 ක් ලබාගත් ජෝ රූට්ගේ දීර්ඝ ඉනිම හතරේ පහර 11 කින් සමන්විත වී තිබිණ. පන්දු 200 කින් සිය ශතකය කරා අවතීර්ණ වූ ජෝ රූට් ලෝඞ්ස් පිටියේදී ලබාගත් 4 වැනි ටෙස්ට් ශතකය මෙයයි.

මේ වන විට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ශතක 22 ක් ලබා සිටින රූට්, එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් වන වොලී හැමන්ඞ්, කොලින් කවුඞ්රි, ජෙෆ්රි බෝයිකොට් සහ ඉයන් බෙල් හා අද දිනයේදී සමතැන් ගත්තේය. ටෙස්ට් ශතක ලබාගැනීම අතින් රූට්ට වඩා ඉදිරියෙන් සිටින්නේ කෙවින් පීටර්සන් (23) සහ ඇලිස්ටෙයාර් කුක් (33) පමණි. ශතකය ලබාගැනීමෙන් ටික වේලාවකට පසුව ජෝ රූට් ටෙස්ට් ලකුණු 9000 පසුකර ගියේය.

දිවා ආහාරය වන විට කඩුලු 3 කට ලකුණු 216 ක් ලබා සිටි එංගලන්තය දිවා ආහාරයත් තේ පානයත් අතර ලකුණු 98 ක් ලබාගනිද්දී කඩුලු 2 ක් අහිමි කරගත්තේය. දිගින් දිගටම බෙයාර්ස්ටෝ වෙත කෙටි පන්දු එවමින් ඔහු හුක් පහරකට පොළඹවා ගැනීමට උත්සාහ කළ මොහොමඞ් සිරාජ් අවසානයේදී තමන්ගේ අරමුණ ඉටුකරගත්තේ බෙයාර්ස්ටෝගේ අත් ආවරණයේ වැදුණු පන්දුව ස්ලිප් හිටි විරාට් කෝලි වෙත උඩපන්දුවක් ලැබීමෙනි. එය බෙයාර්ස්ටෝ ටෙස්ට් ඉනිම 20 කට පසුව ලබාගත් අර්ධ ශතකයකි.

එංගලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවන් නැවත වරක් අසාර්ථක වෙද්දී යෝක්ෂයර් ප්‍රාන්ත සගයන් වන ජෝ රූට් (නොදැවී 88) සහ ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 51) එක්ව ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
“යෝක්ෂයර් ක්‍රිකට් කණ්ඩායම ශක්තිමත් නම් එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත්” යන්න දිගු කලක පටන් එංගලන්තයේ පවතින ජනප්‍රවාදයකි.

පන්දු 90 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ බෙයාස්ටෝගේ ඉනිම හතරේ පහර 6 කින් අලංකාර වී තිබිණ.
අද පෙරවරුවේ කාලගුණය පළමු දින දෙකටම වඩා පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක පැවතිණ. එංගලන්ත පිතිකරු ලයිස්තුව තරමක් දිගට දිවෙන අතර මොයින් අලී සහ ජොස් බට්ලර් දෙදෙනාම තවමත් ක්‍රීඩාගාරයේ සිටිති

ඉන්දියාවට පිළිතුරු දීම ආරම්භ කළ එංගලන්ත ඉනිමේ පිට පිටම පන්දු දෙකකදී ඩොමිනික් සිබ්ලි සහ හසීබ් හමීඞ් දෙදෙනා දැවී යන විට ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 23 ක් පමණි. මේ වසරේදී එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 19 න් 15 කදීම දෙවැනි කඩුල්ල බිඳවැටුණේ ලකුණු 50 සම්පූර්ණ කිරීමට පොරතුවය. එංගලන්ත ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දුර්වලවීම එයාකාර විය.

කෙසේ වෙතත් රෝරි බර්න්ස් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ රූට්, දිනය අවසන් වන තුරුත් සිය කඩුල්ල රැකගෙන සිටියේය. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 64 ක් සහ 109 ක් ලබාගත් එංගලන්ත නායකයා, ඉෂාන්ත් ෂර්මාගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් ග්‍රැහැම් ගූච්ගේ ටෙස්ට් ලකුණු 8900 වාර්තාව පසුකර ගියේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර රූට් දෙවැනි වන්නේ ඇලිස්ටෙයාර් කුක්ගේ ලකුණු 12,472 ට පමණි.

අවසන් මොහොතේදී කණ්ඩායමට එක්වූ ජේම්ස් ඇන්ඩසන් කඩුලු 5 ක් දවාගැනීම හේතුවෙන් ඉන්දීය පිලේ ගමන ලකුණු 364 කින් නැවැත්වීමට එංගලන්තයට හැකිවිය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නා සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 31 වැනි අවස්ථාව මෙයයි.

ටෙස්ට් කඩුලු 626 ක් ලබා සිටින ඇන්ඩසන් ටෙස්ට් ඉතිහාසවේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නාය. සමස්ත ලයිස්තුවේ ඔහු පසුපසින් සිටින්නේ දඟ පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන් (800) සහ ෂේන් වෝන් (708) දෙදෙනාට පමණි.

මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන ඇන්ඩසන් ලකුණු 62 කට කඩුලු 5 ක් දවාගත් අතර මාක් වුඞ් සහ ඔලී රොබින්සන් කඩුලු 2 ක් බැගින් බෙදා ගත්හ. විරාට් කෝලි දැවී යාමට පෙර කඩුලු 2 කට ලකණු 267 ක් ව තිබූ ඉන්දීය ලකුණු පුවරුවේ අවසන් කඩුලු 8 ම ලකුණු 97 කට ඇද වැටිණ.

ඉන්දියානුවන් අද පෙරවරුවේදී තරගය ආරම්භ කළේ කඩුලු 3 කට 276 ක් ලෙස පුවරුවේ සටහන්ව තිබියදීය. එහෙත් ඇන්ඩසන් ප්‍රමුඛ එංගලන්ත වේග පන්දු යවන්නන් තිදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් මුල් ඉනිමේදී බලාපොරොත්තු වූ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ඉන්දීය පිලට නොහැකි විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ රිෂාබ් පන්ට් (37) සහ රවීන්ද්‍ර ජදේජා (40) පසුපෙළට යම් තරමක ලකුණු සංඛ්‍යාවක් එක්කළ නමුත් ඔවුන් දෙදෙනාම මාක් වුඞ්ගේ තරමක් වේගවත් පන්දු දෙකකට අසුවූහ.


ඉන්දීයාව - පළමු ඉනිම - 364 යි
(රෝහිත් ශර්මා 83, ලොකේෂ් රාහුල් 129, විරාට් කෝලි 42, රිෂාබ් පන්ට් 37, රවීන්ද්‍ර ජදේජා 40,
ජේම්ස් ඇන්ඩසන් 62/5, ඔලී රොබින්සන් 73/2, මාක් වුඞ් 91/2)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 5 ක් දැවී 314
(රෝරි බර්න්ස් 49, ජෝ රූට් නොදැවී 132, ජොනී බෙයාර්ස්ටෝ 57 ජොස් බට්ලර් 23, මොයින් අලී නොදැවී 20, මොහොමඞ් සිරාජ් 71/3)

 

 

 

- 213

 


අදහස් (0)

ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.