Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු කරයි

ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු කරයි

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් ජය ගැනීමෙන් පසුව තමා  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට කී‍්‍රඩා කිරීමේ කෙරෙහි අවදානය යොමු කර ඇතැයි මේ වන විට 34 වැනි වියේ පසුවන ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික් පවසයි.

රට තුළට ඇතුළුවීමේදී සපුරාලිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජොකොවික් යළි සිය සර්බියාව වෙත පිටුවහල් කිරීමට  ඕස්ට්‍්‍රලියානු ආගමන සහ විගමන නිලධාරීන් සූදානම් වුවද, ඊට එරෙහිව නඩු මගට පිවිසීමට ජොකොවික් පියවර ගත්තේය.

සිය ශූරතාව රැකගැනීමේ අරමුණින්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි ජොකොවික්, මෙල්බර්න් ගුවන් තොටුපොලේදී තමාගේ ද්විත්ව එන්නත්කරණ සහතිකය හෝ වෛද්‍ය නිදහස් කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ඔහුගේ වීසා බලපත‍්‍රය අවලංගු කළ ගුවන්තොටුපල ආගමන සහ විගමන නිලධාරීන් රැයක් පුරා ඔහුව ගුවන් තොටුපොලේ රඳවාගැනීමට කටයුතු කර ඇත.

කෙසේ වුවත් මෙල්බර්න් අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව ජොකොවික් නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා, ඔහුගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු තත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දුන්නේය. කෙසේ වුවත් එන්නත්කරණ සහතිකය නොමැති වීම නිසා තවමත් ඕස්ටේ‍්‍රලියානු ආගමන සහ විගමන අමාත්‍යවරයාට ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය අවලංගු කර ඔහුව සර්බියාවට පිටුවහල් කිරීමට පූර්ණ බලතල ඇත.

”විනිසුරුවරයා මගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු තත්ත්වයට පත් කිරීමට උපදෙස් දීම සම්බන්ධයෙන් මම ඉතාම සතුටට පත්වෙනවා. ඒ වගේම මම ඔහුට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා. මේ සියලූ දේ අවසානයේ යළිත් මගේ රටට යෑම පැත්තකින් තියලා  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට කී‍්‍රඩා කිරීම ගැන මම අවදානය යොමු කරනවා. මොකද මම මෙහි පැමිණියේ මගේ රසිකයන් ඉදිරියේ වැදගත්ම ඉසව්වකට කී‍්‍රඩා කිරීමටයි.” යැයි ජොකොවික් පැවසීය.

මේ වන විට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20 ක් ජයගෙන සිටින ජොකොවික්, ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කී‍්‍රඩකයා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤයේ රෆායල් නඩාල් සමග සම තත්ත්වයේ පසුවේ.

එබැවින් මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔහු සමත් වුවහොත් ඔහුට එම වාර්තාවේ තනි අයිතියට හිමිකම් කීමට හැකි වනු ඇත.

-036

 


අදහස් (0)

ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.