Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් පිටුවහල් කිරීම ප්‍රමාද කරයි
ඕස්ට්‍රේලියානු ​විවෘත තරගාවලිය

ජොකොවික් පිටුවහල් කිරීම ප්‍රමාද කරයි

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රට තුළට ඇතුළුවීමේදී සපුරාලිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නොවැක් ජොකොවික් යළි සිය රට වෙත පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටියි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥවරයකු වන ක්‍රිස්ටෝපර් ට්‍රෑන් මහතා ප්‍රකාශ කළේ, ලබන සඳුදා, අධිකරණයෙන් අවසන් තීන්දුව ලැබෙන තුරු ජොකොවික් පිටුවහල් කිරීම ප්‍රමාද කරන බවයි. 

කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය හිස එසවීම හේතුවෙන් ‘ග්‍රැමිස් ඇන්ඞ් සන්ඩන්ස්’ සිනමා උළෙල අවලංගු කිරීමටද එහි සංවිධායකයන්ට අණ කළ ඕස්ට්‍රේලියානු රජය, විදේශිකයන්ට සිය රට තුළට ඇතුළු වීම සඳහා නව සම්බාධක පැනවීමටද පියවර ගෙන තිබේ. 
පසුගිය වසරේදී දිනාගත් ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාව රැකගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවට පැමිණි ජොකොවික්, මෙල්බර්න් ගුවන් තොටුපොලේදී තමාගේ ද්විත්ව එන්නත්කරණ සහතිකය හෝ වෛද්‍ය නිදහස් කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර රැයක් පුරා ඔහුව ගුවන් තොටුපොලේ රඳවාගැනීමට එහි සිටි බලධාරීන් කටයුතු කර ඇත. 

“නීති කියන්නෙ නීති වලට. ඒවාට පුද්ගලයා කවුද කියන එක අදාල නෑ. අපිට කිසිම කෙනෙකුට විශේෂයක් කරන්න බෑ.” යැයි මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැති ස්ටොක් මොරිසන් මහතා පැවසීය. 

තරගාවලියේ වෛද්‍ය කමිටුවෙන් තමාට විශේෂ අවසරයක් ලැබුණ බව මෙල්බර්න් නුවර බලා පිටත්වීමට පෙර ජොකොවික් ගුවන් තොටුපලේදී පැවසුවද එම ප්‍රකාශය ඕස්ටේ්‍රලියානුවන් අතර කෝපය වැඩි කරවන්නක් වී තිබිණ. ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළට ඇතුළුවූ දා සිට දැඩි සීමාවන් යටතේ ජීවිකාව ගෙවන ඕස්ට්‍රේලියානුවොත් මේ වන විට දැඩි නීති රීති යටතේ සිරවී සිටිති. 

වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලිය, නව සෞඛ්‍ය නිතී රෙගුලාසි හේතුවෙන්, මේ වන විට ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. එහි බලපෑම පෙබරවාරි මාසයේදී බීජිං නුවරදී පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලටද ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. 

චීනයේ සියෑං නුවර වෙසෙන මිලියන 13 ක ජනතාව මේ වන විටත් දැඩි නීතිරීති යටතේ නිවාස අඩස්සියේ තබා ඇත. 

කෙසේ වුවත් ජොකොවික්ගේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩු විභාගයක් පවතින බැවින් එය නිමාවන තෙක් ඔහු රටින් පිටුවහල් නොකරන බවත්, එතෙක් ඔහු ආගමන විගමන රැඳවුම් භාරයේ පසුවන බවත් රජයේ නීතිඥවරයකු පැවසීය. 

-036 


අදහස් (0)

ජොකොවික් පිටුවහල් කිරීම ප්‍රමාද කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.