Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මහ තරගයේදී ඉතාලියේ මෙටේයෝ බෙරටිනිට එරෙහිව ‍වට 3-1 ක ජයක් වර්තා කරමින් මෙවර (2021) විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමට ලො‍ව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නොවැක් ජොකොවික් ඊයේ (11 වැනිදා) සමත් විය. මෙම ජයත් ‍සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් (20) දිනාගත් ක්‍රීඩකයකු ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම තත්ත්වයට පත්වීමට ජොකොවික්ට හැකි විය.

අවසන් තරගයේදී ජොකෙවික්ට ඉතා තියුණු සටනක් දුන් 25 හැවිරිදි බෙරටිනි පළමු වටයේදී ඔහුව සම ලකුණු බිඳිමේ වටයක් කරා රැගෙන ගිය අතර ලකුණු 7/6 ක් ලෙස එම වටය ජයගනිමින් ආරම්භයේදීම ජොකො‍වික්ට දැඩි පීඩනයක්ද එල්ල කළේය. කෙසේ වුවත් සිය අත්දැකීම මනාව ප්‍රයෝජනයට ගත් 34 හැවිරිදි ජොකොවික්, ඉන් අනතුරුව පැවැති වට තුන පිළිවෙලින් ලකුණු 6/4 ක්, 6/4 ක් සහ 6/3 ක් ලෙස ජයගනිමින් සමස්ත තරගයේ ජය වට 3-1 ක් ලෙස තමන් සතුකර ගත්තේය.

“විම්බල්ඩන් ශූරතාව දිනාගැනීම තමයි කුඩා කාලයේදී මට තිබුණ ලොකුම හීනය. දැන් මම ඒ හීනය 6 වතාවක්ම හැබෑ කරගෙන තිබෙනවා. ඉවත දමන කැබලිවලින් විම්බල්ඩන් කුසලානයක ආකෘතියක් සාදාගෙන සිටි හත් හැවිරිදි දරුවෙක් මේ වන විට සැබෑ විම්බල්ඩන් කුසලාන 6 ක් ජයගෙන සිටීම ඇදහිය නොහැකි දෙයක්. එය හරිම පුදුමාකාරයි.” යැයි ජොකොවික් ජයග්‍රහණයෙන් අනතුරුව පැවසීය.

මෙය ජොකොවික්ගේ 6 වැනි විම්බල්ඩන් ශූරතාව මෙන්ම 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවද විය. මේ වන විට ඔහු ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක්ද දිනා සිටියි. මේ දක්වා විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් දිනාගැනීමට ෆෙඩරර්ද, ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් දිනා ගැනීමට නඩාල්ද සමත්ව සිටිති.  

මෙම වසර (2021) තුළ ජොකොවික් ජයගත් තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය වන අතර මින් පෙර පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය මෙන්ම ජූනි මාසයේදී පැවති ප්‍රංශ විවෘත ශූරතාවලියද ජයගනු ලැබුවේ ජොකොවික් විසිනි. ඒ අනුව ඔහුට සෙසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ශූරතාවලිය සහ ඔලිම්පික් රන් පදක්කමද ජයගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමේ අවස්ථාව පවතී.

‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් යනු එක් වසරක් තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමය. ටෙනිස් ඉතිහාසයේ මින් පෙර එවන් දස්කමක් දක්වා ඇත්තේ ‍ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ් පමණි. 1988 වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 මෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය. ඉන් අනතුරුව මේ දක්වාම ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් දිනාගැනීමට කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සමත්වී නැත.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ‍ මේ මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඇමරිකානු විවෘත ශූරතාවලිය අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලි දෙකේ ශූරතාද තමන් සතුකර ගැනීමට ජොකොවික් සමත් වුවහොත් ඔහුට ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

අවසන් පූර්ව වටයේදී කැනඩාවේ ඩෙනිස් ෂාපොලොව්ට එරෙහිව වට 3-0 ක (7/6, 7/5, 7/5) ජයක් වාර්තා කරමින් ජොකොවික් මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බෙරටිනි එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයකදී පෝලන්තයේ හියුබට් හර්කාස්ට එරෙහිව වට 3-1 ක (6/3, 6/0, 6/7, 6/4) ජයක් වාර්තා කරමිනි.

‍පළමු වටයේදී  බ්‍රිතාන්‍යයේ ‍ජැක් ඩ්‍රැපර්ට එරෙහිවද, දෙවැනි වටයේදී දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන්ට එරෙහිවද, තෙවැනි වටයේදී ඇමරිකාවේ ඩෙනිස් කුඩ්ලාට එරෙහිවද ජය වාර්තා කළ ජොකො‍වික්, අවසන් 16 දෙනාගේ වටයේදී චිලී රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගැරන්ට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලබමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. ඔහු අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී හංගේරියාවේ මර්ටන් ෆුසොවික්ස්ට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමිනි.

-036


අදහස් (0)

ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.