Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික සුපර් ලීග් තරගාවලිය ජනවාරියේ
දේශීය ක්‍රිකට්

ජාතික සුපර් ලීග් තරගාවලිය ජනවාරියේ

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ ජනවාරි මස මැදදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් සීමිත ඕවර තරගාවලිය සමඟින් ආරම්භ වන 2022 දේශීය ක්‍රිකට් තරග වාරය, 2022 දෙසැම්බර් මාසයේදී තෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අවසන්වේ. මීට පෙර වසර වලදී දේශීය තරග වාරය පැවැතියේ අප්‍රේල් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ ය.

ජාතික සුපර් ලීග් සීමිත ඕවර තරගාවලිය ජනවාරි මැද සිට පෙබරවාරි මැද දක්වා ක්‍රියාත්මක වන අතර පසුව පෙබරවාරි මැද සිට අප්‍රේල් මැද දක්වා ජාතික සුපර් ලීග් තරගාවලියේ සිව්දින තරඟ පැවැත්වේ. 

ජාතික සුපර් ලීග් තරගාවලිය (කලින් අන්තර් පළාත් තරගාවලිය) බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උතුර සහ දකුණ යන පළාත් පහෙන් සමන්විත වේ.

“අපි යටිතල පහසුකම් සහිත ප්‍රධාන ක්‍රීඩා සමාජ 5 ක් තෝරා ගත්තා. ඒවාට ක්‍රීඩාංගණ, ගෘහස්ථ පුහුණු ශාලා, පැති තණතීරූ, ව්‍යායාම ශාලා සහ පිහිනුම් තටාකය හදලා දෙනවා. එස්.එස්.සී, එන්.සී.සී, සී.සී.සී සහ ද්‍රවිඩ සංගමය යන ක්‍රීඩා සමාජ වල මේ සියලු පහසුකම් තිබෙනවා” 

“පිහිනුම් තටාකයක් නැති වුණත් පස්වන ක්‍රීඩා සමාජය ලෙස කෝල්ට්ස් තෝරා ගත්තා. මෙම ක්‍රීඩා සමාජ පහ විවිධ කණ්ඩායම් පහකට (එනම් එක් එක් පළාත්වලට) ඇතුළත් වෙනවා. ඉතිරි ක්‍රීඩා සමාජ 21 කාණ්ඩ පහට බෙදනවා. ක්‍රීඩකයන් තෝරා ගැනීම ජාතික තේරීම් කමිටු නිලධාරීන්ට පැවරෙනවා” යැයි තරගාවලිය පිළිබඳව පැහැදිලි කරමින් තරඟාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා ඩේලී එෆ්.ටී පුවත්පතට පවසා තිබිණ. 

“ජාතික කණ්ඩායම සමගින් ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම ජාතික සුපර් ලීග් සීමිත ඕවර තරගාවලියට සහ සිව්දින තරගාවලිය සඳහා තෝරා ගන්නවා. ඉතිරි ක්‍රීඩකයින් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා සමාජ වලින් තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, ජාතික තේරීම් කමිටුව කිසිසේත්ම තරඟාවලියට සම්බන්ධ වෙන්නේ නෑ. ඔවුන් ඒ දෙස බලා සිටිනවා විතරයි. එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම තේරීම් කමිටු නිලධාරීන් පත් කිරීමට අපි සැලසුම් කරනවා” 

 “හොඳම ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් ද ඊට සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ අතරම, කණ්ඩායම් අතර උනන්දුව රඳවා ගැනීම සඳහා, තමන්ගේ ක්‍රීඩා සමාජයට අයත් පුහුණුකරු වෙනත් පළාතක පුහුණු කරුවන් ලෙස පත්කරනවා. අපි ක්‍රීඩකයන්ටත් සැලකිය යුතු මුදලක් ගෙවනවා. සෑම කණ්ඩායමකටම ලියාපදිංචි ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වෙනවා” යයිද දොඩන්වල මහතා වැඩිදුරටත් පැවසීය. 

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියට සමගාමීව, නැඟී එන කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වේ. වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට අප්‍රේල් මැද සිට මැයි අග දක්වා ඔවුන්ගේ තරඟාවලි පැවැත්වීම සඳහා අවස්ථාවක් ලබාදී ඇති බැවින් මාස එකහමාරක විවේකයක් ලැබෙනු ඇත.

ජූනි මස මැදදී ක්‍රීඩා සමාජ 26ක සහභාගීත්වයෙන් අන්තර් සමාජ සීමිත ඕවර සහ ලීග් තරඟාවලි ආරම්භ කෙරේ. වසර 2025 වන විට පළමු පෙළ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 15 දක්වා අඩුකිරීමේ ක්‍රියාවලිය මෙම තරගාවලියෙන් ආරම්භ වනු ඇත. මේ වන විට පවතින පළමු පෙළ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 26 කි. 

පළමු වසර දෙක තුල සෑම වසරකම ක්‍රීඩා සමාජ හතරක් පහත දමනු ලබන අතර තුන්වන වසරේදී ක්‍රීඩා සමාජ තුනක් පහත දමනු ඇත. සමස්තයක් ලෙස 2025 වන විට ක්‍රීඩා සමාජ 11 ක් පහතට ඇද දමනු ඇත, ඒ අනුව 2025 වන විට ප්‍රධාන තරඟාවලි (සීමිත ඕවර, ලීග් සහ විස්සයි20) සඳහා ක්‍රීඩා කරනු ඇත්තේ පළමු පෙළ ක්‍රීඩා සමාජ 15 ක් පමණි. මෙම ව්‍යුහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අනුමත කර ඇති අතර ඉදිරි වසර පහ සඳහා මෙය බල පැවැත්වේ. 

තෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් ඉන් පසුව 2022 තරග වාරය ඵලදායී ලෙස අවසන් වන බවත් දොඩන්වල මහතා පැවසීය. 

ඒ අනුව II කොටසේ තරගාවලිය ලෙස, 2020-21 තරග වාරයට අදාල ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය ජනවාරි මාසයේදී පැවැත්වේ. ඒ සඳහා දුරස්ථ ප්‍රදේශවල ක්‍රීඩකයින්ට සහ පාසල් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

2022 ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ජුනි මාසයේදී ආරම්භ වේ. ආණ්ඩුකාර කුසලාන තරගාවලියට ක්‍රීඩා සමාජ 24 ක් සහභාගී වෙති. 

මෙම ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය, ප්‍රධානතම අන්තර් සමාජ තරඟාවලියට දෙවෙනි වෙයි. 

පසුගිය වසර දෙකක කාලය තුළ නොපැවැත්වූ අන්තර් සමාජ ෂෂෂ වැනි කොටසේ තරගාවලිය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී තීරණයක් ගනු ඇත. 

- 2079

 


අදහස් (0)

ජාතික සුපර් ලීග් තරගාවලිය ජනවාරියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.