Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම - දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සසි-20 තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූවත් එය කෙළවර වූයේ මතභේදයකිනි.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවරයේදී ලකුණු 19 ක් ලබාගත යුතු වූ අතර ශ්‍රී ලංකා පිල ලකුණු 18 ක් ලබාගැනීම නිසා තරගය සම විය. එහෙත් අවසන් ඕවරයේදී යැවුණු වයිඩ් පන්දුවක් නිසි ලෙසින් සංඥා කිරීම විනිසුරුවරයා අතින් මඟ හැරී නොගියා නම්, සුපිරි ඕවරයට නොයාම, තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත හිමිවීමට ඉඩ තිබිණ.
මෙම සිදුවීම, ෆොක්ස් රූපවාහිනී සේවය වෙනුවෙන්, තරගයේ විස්තර විචාරයේ නිරතව සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන්ගේ කණස්සල්ලට හේතු විය.
ශ්‍රී ලංකා ඉනිමේ 20 වැනි ඕවරය යැවීම සඳහා පන්දුව මාකස් ස්ටොයිනිස්ට බාර කෙරෙන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6 කදී ලකුණු 19 ක් අවශ්‍යව තිබිණ. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 53 කදී ලකුණු 73 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම කැඳවාගෙන ආවද පැට් කමින්ස්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් දැවී ගියේ ඔහු මුහුණ දුන් අවසන් පන්දු 2 න්ද ලකුණු 7 ක් ලබාගැනීමෙන් පසුවය.
ජයග්‍රහණය සඳහා තවත් පන්දු 3 කින් ලකුණු 12 ක් අවශ්‍ය වී තිබිණ. මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට ඉහළින් යැවූ මහීෂ් තීක්‍ෂණ, තමන්ගේ ඉලක්කය පන්දු 2 කින් ලකුණු 6 ක් බවට පත්කළේය. එහෙත් තීක්‍ෂණට ලැබුණු ඊළඟ පන්දුව සීමාවෙන් ඉවත ගිය (වයිඩ්) පන්දුවක් විය. පන්දුව රැකගත් කඩුලු රකින්නා එය ස්ටොයිනිස්ට යවන අතරේ පිතිකරුවෝ ලකුණක් ලබාගත්හ.
කෙසේ වෙතත් එය නිදහස් (බයි) ලකුණක් වශයෙන් සංඥා කළ විනිසුරු රොඩ් ටකර් මහතාට පන්දුව වයිඩ් පන්දුවක් බවට කල්පනාවක් නොවීය.
එවන් අවස්ථාවකදී තුන්වැනි විනිසුරුවරයා වූ ෂෝන් ක්‍රෙග් මහතාට හෝ විශේෂයෙන්ම තරග තීරකවරයා වූ ඩේවිඩ් බූන් මහතාට ඒ වෙනුවෙන් මැදිහත් වන්නට අවස්ථාව තිබිණ. එහෙත් දෙදෙනාම නිහඬ වූ අතර ඊළඟ පන්දුව යැවීමට ස්ටොයිනිස් සිය සීමාවට යද්දීත්, තුන්වැනි විනිසුරුවරයාගෙන් හෝ ඒ ගැන විමසීමට ප්‍රධාන විනිසුරු රොඩ් ටකර් මහතාට අමතක විය.
යම් හෙයකින් එම පන්දුවට වයිඩ් පන්දුවකට හිමි ලකුණක් එකතු වූයේ නම් ශ්‍රී ලංකා පිලට එතැන් සිට ලබාගත යුතු වන්නේ ලකුණු 4 කි. දුෂ්මන්ත චමීර එය ලබාගත්තේය.
වයිඩ් පන්දුව නිසි ලෙසින් සංඥා කෙරුණේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගත හැකිව තිබිණ. මක්නිසාද යත් වයිඩ් පන්දුවක් වෙනුවෙන් ලකුණක් පමණක් නොව අතිරේක පන්දුවක් යැවීමටද ඕස්ට්‍රේලියානුවන්ට සිදුවන බැවිනි.
එස් වූයේ නම් ශ්‍රී ලංකා පිලේ ඉලක්කය අවසන් පන්දුවෙන් ලකුණු 5 ක් නොව, පන්දු 2 කින් ලකුණු 4 ක් වනු ඇත.
කෙසේ වෙතත් විනිසුරු රොට් ටකර් මහතාගේ අතපසුවීම හේතවෙන් තරගයේ ලකුණු සමවීම නිසා එය සුපිරි ඕවරය කරා එය ඇදී ගියේය.
සුපිරි ඕවරයේදී ලකුණු 5 කට ශ්‍රී ලංකා කණ්ඩායම සීමාකරගත් ඕස්ට්‍රේලියානුවන් තරගය ජයගත්තද අවසන් ඕවරයේදී වික්‍රමාන්විත පිතිහරඹයක යෙදුණු ශ්‍රී ලාංකිකයන්ට තරගය ජයගැනීමට තිබූ අවස්ථාව ගිළිහී යාම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීහු කෝපාවිශ්ඨ වී සිටිති.
මේ සම්බන්ධයෙන් විස්තර විචාරක ෂේන් වෝන් මහතා පැවසුවේ විනිසුරුට එය වැරදී ඇති බවත්, පන්දුව සීමාවන් ඉවත ගිය (වයිඩ්) පන්දුවක් ලෙසින් සංඥා කළ යුතුව තිබූ බවත්, එය එසේ වූයේ නම් ශ්‍රී ලංකාව තරගය “දිනන” බවත්ය.
“මෙය විශාල අත්වැරදීමක්” යයි ෆොක්ස් ක්‍රිකට් සඳහා විස්තර විචාරයේ යෙදී සිටි වෝන් මහතා පැවසීය. “මෙම සිදුවීම පුළුල් ලෙස විග්‍රහ කරන්නේ නම්, ශ්‍රී ලංකාව දිනුම්” යයි ද ෂේන් වෝන් මහතා පවසා තිබේ.
“මා හිතන්නේ ශ්‍රී ලංකාවට එම අතිරේක ලකුණ ලැබිය යුතුව තිබුණා, ඒ කියන්නේ ඔවුන්ට තරගය දිනන්න තිබුණා”
“එහෙම වුණා නම්, එය සුපිරි ඕවරයක් කරා යන්නේ නෑ. ඔවුන් තරගය දිනනවා”
“ඒත්, සමහර දිනවල ඒක (සීමාවෙන් ඉවත යන පන්දු) පෙනෙනවා. සමහර දිනවල එසේ පෙනෙන්නේ නෑ...” යයිද වෝන් මහතා පැවසීය.
හිටපු ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක කෙරී ඕ‘කීෆ් මහතාද වෝන්ගේ අදහසට එකඟ විය. “නිසැකයෙන්ම එය වයිඩ් පන්දුවක් තමා” යයි කෙරී ඕ’කීෆ් මහතා කීවේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි විස්සයි-20 තරගය අඟහරුවාදා කැන්බරා නුවරදී පැවැත්වෙයි. විනිසුරු රොඩ් ටකර් මහතාගේ අත්වැරදීම හේතුවෙන් වඩාත් පහසු තරගයක් විය හැකිව තිබූ අඟහරුවාදා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පැවතීමත් නැතිවීමත් අතර තරගයක් බවට පත්ව තිබේ.
විනිසුරුවරයාගේ අත්වැරදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති. එබැවින් තරගාවලියේ ජයග්‍රහණය සඳහා තවදුරටත් සටනක් දීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා තරගය ජයගත යුතුවම තිබේ.
අවසන් පන්දුවෙන් ලකුණු 4 ක් ලබාගනිමින් තරගය සමකළ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්‍ෂණ සතුට බෙදා ගනිමින් (ඡායාරූපය - ඒ.එෆ්.පී)
(ඕස්ට්‍රේලියාවේ චැනල් නයින් වෙබ් අඩවිය ඇසුරිනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.