Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානයේ ජය බෙල්ජියම ඩැහැගනී

ජපානයේ ජය බෙල්ජියම ඩැහැගනී

Nisanka Sandeepani - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝල 2-0 කින් පෙරමුණ ගනිමින් ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසෙන තුන්වැනි ආසියාතික රට බවට පත්වීමට ජපානයට තිබූ බලාපොරොත්තු සියල්ලම විනාඩි 20 ක් ඇතුළත සෝදා හළ බෙල්ජියම බ්ලූ සමුරායි පිලේ ජයග්‍රහණය උදුරා ගත්තේය. තරගය නිමා වීමට ඉතිරිව තිබූ අන්තිම මිනිත්තු 20 දී තරගය එහෙම පිටින්ම  උඩුයටිකුරු කළ බෙල්ජියම් ක්‍රීඩකයෝ පිට පිටම තුන් වතාවක් පන්දුව දැළ තුළට යොමු කරමින් 3-2 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. 

1966 තරගාවලියේදී උතුරු කොරියාවත්, 2002 තරගාවලියේදී දකුණු කොරියාවත් හැරුණු විට ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ආසියාවේ කිසිදු කණ්ඩායමක් සමත්වී තිබුණේ නැත. එහෙත් ඊයේ රාත්‍රී රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පෙරළිකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ජපානය තරගයේ 70 වැනි මිනිත්තුව වෙද්දීත් ගෝල 2-0 කින් පෙරමුණ ගෙන සිටියදී සමස්ත ජපානයම සතුට සමරන්නට පටන්ගෙන තිබිණි. 

ජපානයේ සතුටු සාද අතරේ තරගයට අවතීර්ණ වූ බෙල්ජියම තරගයේ 70 වැනි මිනිත්තුවේදී ජැන් වර්ටොන්ගන්ගේ පාදයෙන් පළමු ගෝලය ලබාගත්තේය. විනාඩි 4 කට පසුව මොරීන් ෆෙලානි ලබාගත් ගෝලයත් නිසා තරගය 2-2 කින් සම වීමත් සමග තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේය.

මුළු ජපානයම කඳුළු ගඟක් කරමින් බෙල්ජියමට මේ අමතක නොවන ජයග්‍රහණය අත්කර දුන්නේ අන්තිම මිනිත්තුවේදී නේසර් චඞ්ලි වාර්තා කළ තීරණාත්මක ගෝලයෙනි. එය 1970 වසරේ දී එංගලන්තයට එරෙහිව එවකට බටහිර ජර්මනිය විසින් ගෝල 2-0 කින් පසුබැස සිටි මොහොතක තරගය වෙනස් කරමින් ජයග්‍රහණය උදුරාගත් අවස්ථාවට බොහෝ සෙයින් සමානය. 

තරගය 2-2 කින් සමවීමෙන් පසුව අන්තිම මිනිත්තු කිහිපයේදී ජපානය නැවත තරගය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට ඔවුන්ට හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. එහෙත් ඒ සියල්ල උඩුසුළඟට මුසුවී ගියේ ලබන සිකුරාදා බ්‍රසීලය සමග අර්ධ අවසන් පූර්ව තරගයයේ ඉඩක් බෙල්ජියමට වෙන් කර දෙමිනි.

තරගයේ පළමු භාගය නිමාවෙද්දී දෙපිලම ගෝල රහිතව පසුවූවත් දෙවැනි භාගය ආරම්භ වී තුන්වැනි මිනිත්තුවේදී ගාකු ෂීබසාකි ලබා දුන් පන්දුව බෙල්ජියමේ දැල තුළට රිංග වූ ජෙන්කි හරාගුචි ජපානයේ බලාපොරොත්තු ඉහළ දමමින් පළමු ගෝලය වාර්තා කළේය. ඊට මිනිත්තු 3 කට පසුව ටකාෂි ඉනුයි යාර 25 ක දුරින් සිට ගැසූ වේගවත් පහරින් දෙවැනි ගෝලය වාර්තා වුයේ රොස්ටොව් ක්‍රීඩාංගණය එහෙම පිටින්ම ජයඝෝෂාවෙන් පුරවා දමමිනි. 

එහෙත් 70 වැනි විනාඩියේදී වර්ටොන්ගන්ගේ විස්මිත ගෝලයත් සමග බෙල්ජියමේ වාසියට හැරුණු තරගය නැවත තමන්වෙත ඇදගැනීමට ජපානයට කොහෙත්ම හැකිවූයේ නැත. වර්ටොන්ගන් යාර 20ක් දුරින් සිට ගැසූ විස්මිත පහර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දුරකින් සිට හිසින් ගසා ලබාගත් ගෝලය බවට පත්විය. 

- 077


අදහස් (0)

ජපානයේ ජය බෙල්ජියම ඩැහැගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.