Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානයට - ස්පාඤ්ඤයට පහසු ජයග්‍රහණ
කාන්තා ලෝක කුසලාන 2023

ජපානයට - ස්පාඤ්ඤයට පහසු ජයග්‍රහණ

editorial - 2023 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ (16 දෙනාගේ) වටයේදී ජපානය සහ ස්පාඤ්ඤය පහසු ජයග්‍රහණ අත්කරගෙන සිටිති. ඒ අතරවාරයේදී යුරෝපා පාපන්දු ක්‍රීඩාවේ ශක්තිය මනාව ප්‍රදර්ශනය කරමින් නෙදර්ලන්තය සහ ස්වීඩනයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී සෙනසුරාදා (05 වැනිදා) පැවැති තරගයේදී ස්විට්සර්ලන්තය පරදවා ගෝල 5-1 ක පහසු ජයක් අත්කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත් වූහ. සෙනසුරාදාම, නවසීලන්තයේ වෙලිංන්ටන් නුවර පැවැති තරගයේදී ජපාන ක්‍රීඩිකාවෝ ගෝල 3-1 ක් ලෙසින් නෝර්වේ පිල පරාජය කළහ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (06 වැනිදා) පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ ගෝල 2-0 ක ජයක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දැමූහ. අද රාත්‍රියේ මෙල්බර්න් නුවරදී පැවැති අනෙක් තරගයේදී දඬුවම් පහර මත ගෝල 5-4 ක ජයක් ලබාගැනීමට ස්වීඩනය සමත් වූයෙන් ඇමරිකා එක්සත් ජනපදය තරගාවලියෙන් ඉවතට වීසි විය.

ස්වීඩනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයේදී දෙපිලටම ගෝල ලබාගත නොහැකි වූ බැවින් එය අතිරේක කාලය දක්වා ඇදී ගියේය. එහෙත් අතිරේක කාලය නිමාවේදීත් ලකුණු තත්ත්වය 0-0 ක් විය.

ඇමරිකානු කණ්ඩායම පසුගිය දෙවතාවේදීම, පිට පිටම දෙවරක්, පාපන්දු කාන්තා ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමයි. එහෙත් දෙවරක් ශූරතාව දිනගත් ජර්මනිය (2003 සහ 2007) මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ කවදත් කෙරුම්කාරයන් වන බ්‍රසීලය ද මෙවර පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට ගොසිනි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී වැඩි දෙනාගේ අවධානය ජපාන කණ්ඩායම වෙත යොමුවී තිබේ. ජපානයේ හිනාටා මියාසාවා මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩිකාව ලෙසින් ද ඉදිරියෙන් සිටී. යුරෝපා මහාද්වීපික ශූරතාව දිනා සිටින එංගලන්ත කණ්ඩායම ද පහසුවෙන් පසෙකට කළ හැකි කණ්ඩායමක් නොවේ.

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයේ සිටින ජපාන කාන්තා කණ්ඩායම ගැන කිසිවකු බලාපොරොත්තු නොතැබූවද ඔවුන් දිගු ගමනක් පැමිණ තිබේ.

2011 දී ලෝක කුසලාන දිනාගත් නමුත් ජපාන ක්‍රීඩාලෝලීන් වත් මෙවර තරගාවලියේදී ජපානය කෙරේ එතරම් විශ්වාසයක් නොතැබීය. එහෙත් මූලික වටයේදී තරග තුනම ජයගත් ජපාන ක්‍රීඩිකාවෝ පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයේදීම නෝර්වේ කණ්ඩායම හමුවේ ගෝල 3-1 ක පහසු ජයක් ලබාගත්හ. මූලික වටයේදී ජපාන දැල රකින්නිය හමුවේ එකම ගෝලයක් හෝ ලබාගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට නොහැකි විය.

මූලික වටයේදී ජපානය විසින් කොස්ටාරිකාව සහ සැම්බියාව පරාජය කරනු ලැබීම බලාපොරොත්තු වූවත්, ස්පාඤ්ඤය හමුවේ ලබාගත් 4-0 ක ජයග්‍රහණය කාන්තා පාපන්දු ලෝකයම මවිත කරවන්නක් විය. ඉන් අනතුරුව ගෝල 3-1 කින් නෝර්වේ පිල පරාජය කළ ජපාන ක්‍රීඩිකාවෝ, අවසන් පූර්ව වටයේදී ස්වීඩනය හමුවීමට බලාපොරොත්තුවෙන් සිටිති.

23 හැවිරිදි හිනාටා මියාසාවා ජපානයේ දේශීය පාපන්දු තරගාවලියේ ක්‍රීඩිකාවකි. එහෙත් ඇය මෙම තරගාවලියේදී ඇදහිය නොහැකි තරම් සාර්ථක ක්‍රීඩිකාවක් වී තිබේ. දැළ ඉදිරිපිටදී ඉතා වේගයෙන් ක්‍රියාශීලී වන නමුත් කිසිවිටෙක කලබල නොවීම ඇයගේ ලක්‍ෂණයයි. මෙම තරගාවලියේ තරග 4 කදී ඇය විසින් ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 5 කි.

“මේ කෙල්ල දිහා බලාගෙන ඉන්න”

“එයා දිගින් දිගටම ගෝල ලබාගන්නයි යන්නේ....එයාව නවත්වන්න අමාරුයි” යයි එක්සත් ජනපදයේ හිටපු ප්‍රහාරිකා ජෙසිකා මැක්ඩොනල්ඩ් කියා තිබිණ.


හිනාටා මියාසාවා.... නෝර්වේ පිලට එරෙහිව..


අදහස් (0)

ජපානයට - ස්පාඤ්ඤයට පහසු ජයග්‍රහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.