Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරි යළිත් ශ්‍රී ලංකා කාන්තා පිල දිනවයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට්

චමරි යළිත් ශ්‍රී ලංකා කාන්තා පිල දිනවයි

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන අවසන් කණ්ඩායම තෝරාගැනීම සඳහා මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී කෙන්යානු කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 88 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, නායිකා චමරි අතපත්තුගේ (57) වේගවත් පිතිහරඹය හමුවේ ඕවර 9.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය.  විශ්මි ගුණරත්න (නොදැවී 26) සමග එක්ව ආරම්භ කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගූ  චමරි, සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළාය.

මින් පෙර ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත් චමරි, මෙම තරගයේදී ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 29 කින් සිය අර්ධ ශතකය ලබා ගත්තාය. රැස්කළ ලකුණු 57 න් 50 ක්ම ඇය ලබාගෙන තිබුණේ හයේ සහ හතරේ පහරවලින් වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. පන්දු 29 කදී වාර්තා වූ විශ්මිගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කෙන්යානු කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 87 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ චමරි, ඕවර 3 ක් යවා ලකුණු 10 කට කඩුල්ලක් බිඳහෙළමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය. එහිදී කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර සහ සචිනි නිසංසලාද එක් කඩුල්ල බැගින් දවාගත්හ.

කෙන්යානු ඉනිමේ වැඩිම ලකුණු ලභිණිය බවට පත්වූ ආරම්භ පිතිකාරිණී කුයීන්ටර් අබේන් පන්දු 53 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් රැස්කළාය. සාරා වෙටෝටෝ පන්දු 31 කින් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කෙසේ වුවත් කෙන්යානු පිතිකාරිණියන් සිවුදෙනකුම ලකුණු 5 සීමාව පසුකර යෑමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.


කෙන්යානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 87
(කුයීන්ටර් අබේන් 33, සාරා වෙටෝටෝ 29)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 9.3 කදී කඩුල්ලක් දැවී 89
(විශ්මි ගුණරත්න නොදැවී 26, චමරි අතපත්තු 57)

(ඡායාරූපය - මැලේසියානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි)

-036


අදහස් (0)

චමරි යළිත් ශ්‍රී ලංකා කාන්තා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.