Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ (ඉකිළියේ) ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව වාර්තා වේ. චන්දිමාල් නොමැති වුවහොත් එංගලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

“චන්දිමාල්ගේ ආබාධය තරමක් බරපතළ එකක්. ඒක සම්පූර්ණයෙන්ම සුව වෙන්න දවස් 10 ක් නැත්නම් 14 ක් විතර යනවා. ඒ නිසා දෙවැනි ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතයි” යයි ගාල්ල ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

“ඔහු සියයට 100 ක්ම ශාරීරික යෝග්‍යතාවෙන් නැතිනම් අපි ඔහුව ක්‍රීඩා කරවන්නේ නෑ. ඒ නිසා ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට අපට සිදුවෙනවා” යයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පල්ලෙකැළේ තරගයේදී චන්දිමාල්ගේ සේවය මෙන්ම අන්තර්ජාතික ටෙස්ට් පිටියේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වූ රංගන හේරත්ගේ සේවයද ශ්‍රී ලංකා පිලට අහිමි වෙයි. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත් ටෙස්ට් පිටියෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පසුබෑමට පත්ව සිටින බැවින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුගේම අහිමිවීම බරපතළ පාඩුවක් වන නමුත් ඉදිරියේ එන තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටී.

“අකිල (ධනංජය) ටෙස්ට් පිටියට හඳුන්වා දීලා තියෙන්නේ. මාලින්ද පුෂ්පකුමාරත් සංචිතයේ ඉන්නවා. ඔහු පළමු පෙළ කඩුලු 600 ක් දවාගත් පන්දු යවන්නෙක්. රංගන වගේමයි. ඔහු අපට ඕනෑ කරන දේ ගෙනත් දේවි” යයිද චන්දික හතුරුසිංහ මහතා ගාල්ලේදී පැවසීය.

මේ අතර කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගයේදී රොෂේන් සිල්වාට අවස්ථාවක් ලැබීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි.

චන්දිමාල්ගේ ආබාධය සුවවීමට තවත් සති දෙකක පමණ කාලයක් අවශ්‍ය වන හෙයින් ඔහුට ඒ සඳහා අවශ්‍ය තරම් විවේකය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර තිබේ. එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලි මාලාවකටම මුහුණ දීමට නියමිත හෙයින් චන්දිමාල්ගේ ආබාධය සමග අවදානමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු කැමති නොවෙති.

ශ්‍රී ලංකා  - එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය නිමාවීමට නියමිතව ඇත්තේ මේ මස 27 වැනිදාය.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය නිමාවී දෙසතියක් ඇතුළත ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් සහ එක්දින තරගාවලිය ආරම්භ වේ. ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තවත් තරගාවලි දෙකකි. දෙසැම්බර් මස 15 වැනිදා සිට පෙබරවාරි 25 වැනිදා දක්වා අතර කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 6 කට සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.