Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෙවීම් හෙළිදරව් කළාට ක්‍රීඩකයෝ කිපෙති

ගෙවීම් හෙළිදරව් කළාට ක්‍රීඩකයෝ කිපෙති

editorial - 2021 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවනු ලබන කොන්ත්‍රාත් ගාස්තු පිළිබඳ නිශ්චිත ගෙවීම් තොරතුරු මහජනයාට මුදා හැරීම මගින් ක්‍රීඩකයන් සියලු දෙනාම මහත් අපහසුතාවටත්, අනතුරකටත් හෙළා ඇති බව ක්‍රීඩකයන් 24 දෙනකු වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නීතිඥ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා කියා සිටී.

නිශ්චිත දාතමක්, ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නොමැති ව නිකුත් කරන ලද එම නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිඥ ප්‍රේමතිරත්න මහතා කියා සිටියේ අදාළ මාධ්‍ය නිවේදනය සහ එහි නම් සඳහන් ක්‍රීඩකයන් 24 දෙනා සම්බන්ධයෙන් මෙන්ම එහි අඩංගු කරුණු වෙනුවෙන්ද තමන් පෙනී සිටින බවයි.

මේ මස 19 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නිකුත් කරන තොරතුරු දැක ක්‍රීඩකයින් කම්පනයට හා කලකිරීමට පත්ව සිටින බවත්, වෙනත් ක්‍රිකට් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉපැයීම් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ඉපැයීම් ඉතා පහළ මට්ටමක පවතින බවත් මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. තවත් අතකින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සේවය කරන්නා වූ නිලධාරීන්, පරිපාලකයින්, පුහුණුකරුවන් මෙන්ම සහාය කාර්ය මණ්ඩලයට කරනු ලබන ගෙවීම් අනාවරණය නොකර තිබියදීත්, ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරනු ලබන ගෙවීම් හෙළිදරව් කිරීම ක්‍රීඩකයන්ගේ කනස්සල්ලට කරුණක් බවත් එම මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.

මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැති 20 වැනිදාට පෙර දිනයේදීය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික කමටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතාත් සහභාගි වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ක්‍රියාකලාපය ක්‍රීඩකයින්ට විශාල වශයෙන් බලපාන බවත්, එමගින් ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසයට සහ නිදහස් මනසකින් ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාවට අහිතකර බලපෑමක් ඇතිවන බවත් මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. මෙවැනි ඒකපාර්ශ්වික හෙළිදරව් කිරීම් නිසා ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව බරපතළ අනතුරක හෙළා ඇති බවද කියැවේ.

මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසීමකදී නීතිඥ ප්‍රේමතිරත්න මහතා කියා සිටියේ ක්‍රීඩකයන් වර්ගීකරණය කරන ලද ක්‍රමවේදය සහ අදාළ වර්ගීකරණය අනුව ලකුණු දුන් ආකාරය ක්‍රීඩකන්ට හෙළිදරව් කළ යුතු බවයි.

“කෙනෙක් විභාගයකට ලිව්වාම, ඒ ඒ ප්‍රශ්නයට ලබාගත් ලකුණු සංඛ්‍යාවන් දෙන්න ඕනනේ.. ඉතින් අපිත් කියන්නේ එක් එක් ක්‍රීඩකයන් වර්ගීකරණය කළ ආකාරය ගැන සවිස්තර වාර්තාවක් ක්‍රීඩකයන්ට දෙන්න කියලයි” යයි ද ප්‍රේමතිරත්න මහතා පැවසීය.

මෙම ගිවිසුමට ක්‍රීඩකයන් 24 දෙනකු ඇතුළත්ව සිටින අතර ගිවිසුමේ ඇතැම් අංශ සම්බන්ධයෙන් තිබෙන අපහැදිළිතා හේතුවෙන් ක්‍රීඩකයෝ ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද කරමින් සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 19 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී මෙම ගෙවීම් සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක් හෙළිදරව් කළ නමුත් සම්පූර්ණ කොන්ත්‍රාත් සැලැස්ම නිකුත් නොකිරීමට පරෙස්සම් විය. එහෙත් සූම් තාක්ක්‍ෂණය ඔස්සේ පැවැති එම මාධ්‍ය හමුවේදී, මෙම කොන්ත්‍රාත්තුවේ ගෙවීම් සම්බන්ධ කොටස් ඡායාරූප ගතකිරීමෙන් පසුව සමාජ මාධ්‍ය හමුවේ සංසරණය විය.

ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් නිකුත් කරන ලද පිටු 5 කින් සමන්විත සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.


අදහස් (0)

ගෙවීම් හෙළිදරව් කළාට ක්‍රීඩකයෝ කිපෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.