
(නාමල් පතිරගේ)
ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත තරගයේ ජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩක අල්හාබී අබ්දුල් මොහොමඩ්ට හිමි විය. එහි විශේෂත්වය 27 වැනි වරටත් සංවිධානය කළ මෙම පාපැදි සවාරිය විදෙස් ක්‍රීඩකයෙකු විසින් ජය ගත් පළමු අවස්ථාව එය වීමයි.
ඔහු මීගමුව සිට පුත්තලම දක්වා කිලෝමීටර 127.5 ක දුරකට ධාවනය වූ සවාරියේ පළමු අදියර තරගයද ජය ගත් ක්‍රීඩකයායි. ඒ පැය 2 විනාඩි 47.තත්පර 15 ක කාලයක් වාර්තා කරමිනි.
දෙස් විදෙස් ක්‍රීඩකයන් 200 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා අදියර තුනකින් නිමාවට පත්වූ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ මුළු දුර (කිලෝමීටර 409.1) ගෙවීමට ජයග්‍රාහී අබ්දුල් මොහොමඩ් ගත් කාලය පැය 8 මිනිත්තු 56 තත්පර 07 ක කාලයකි.
මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ ගමන් මාර්ගය වූයේ මීගමුව - පුත්තලම - දඹුල්ල - හරහා තලංගම අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වායි. කිලෝමීටර 409 ක් සම්පූර්ණ කරමින් මෙවර සමස්ත තරගය නිමා කිරීමට ක්‍රීඩකයන් 100 දෙනෙකු පමණ සමත් විය.
සමස්ත තරගයේ අවසානය සටහන් වූ කිලෝමීටර 141.7 ක් දුරැති තෙවැනි අදියර තරගය ජය ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩක නදීෂ ඉෂාන් විසිනි.
එමිර් රාජ්‍යයේ අබ්දුල් විසින් සමස්ත තරගයේ ජයග්‍රාහණය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් හිමි කර ගත්තේය. රුපියල් ලක්ෂ තුනක් හිමි වුණු සමස්ත තරගයේ දෙවැනි ස්ථානය යුද හමුදා ක්‍රීඩක දිනූෂ සාරංගට හිමි වූයේ පැය 8 මිනිත්තු 56 තත්පර 15 ක නිමි කාලයක් වාර්තා කිරීමෙනි.
රුසියානු ක්‍රීඩක සොසින්ව් විල්ඩිස්ලව් පැය 8 විනාඩි 56 තත්පර 17 කට එහි තෙවැනි ස්ථානය හිමි කර ගැනීම වෙනුවෙන් රුපියල්150,000 ක ත්‍යාග මුදලක් හිමි කර ගත්තේය. ඔහු පුත්තලම සිට දඹුල්ල දක්වා පැවැති දෙවැනි අදියර තරගයේ ජයග්‍රාහකයායි.මෙවර වයස 23 න් පහළ හොදම ධාවකයාට හිමි ශූරතා සම්මානයත් ඔ දිනා ගත් ඔහු දෙවැනි අදියර තරගය පැය 3 විනාඩි 7 තත්පර 56 කට නිමා කිරීමට සමත් විය.
මෙවරත් ගුවන් හමුදා පාපැදි සවාරියට කාන්තා ඉසව්වක් ඇතුළත් කර තිබුණි. මීරිගම සිට තලංගම අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වා කිලෝමීටර 79.8 ක් ගෙවා අවසන් වූ එහි ජයග්‍රාහිකාව වූයේ කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ඈන් ෂෙනාලී පෙරේරාය.
පළපුරුදු තරගකාරියක් වන ඇය මීට පෙරත් නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ගුවන් හමුදා (කාන්තා) පාපැදි සවාරිය ජය ගෙන තිබේ. ඒ වෙනුවෙන් ඇයට ප්‍රදානය වුණු ත්‍යාග මුදල රුපියල් 150000 කි.
දෙවැනි ස්ථානය ගුවන් හමුදා ක්‍රීඩිකා දිනේෂා දිල්හානි විසින් අත් කර ගත්තේ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමගය. රුපියල් 60000 ක් ප්‍රදානය කළ තරගයේ තෙවැනි ස්ථානය ස්ෆීඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ සුදාරිකා ප්‍රියදර්ශණීට හිමි විය.
පුරා දින තුනක් පැවති සමස්ථ පිරිමි පාපැදි තරඟයේ ප්‍රථම ස්ථානය එක්සත් අරාබි එමිල් රාජයේ අබ්දුල් මොහොමඩ් (පැය 08 මිනිත්තු 56 තත්පර 07) හිමිකරගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ දීනූෂ සාරංග (පැය 08 මිනිත්තු 56 තත්පර 15) විසින් දිනා ගන්නා ලදි. රුසියානු ක්‍රීඩක Sozinv Vldislav(පැය 08 මිනිත්තු 56 තත්පර 17)තෙවැනි ස්ථානයට හිමිකම් කියන ලදි.
මෙවර පිරිමි ඉසව්වේ කණ්ඩායම් සමස්ත ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දිනා ගන්නා ලදී.එහි අනුශුරතාව යුධ හමුදා කණ්ඩායමට අත්විය. කාන්තා පාපැදි සවාරියේ සමස්ත කාණ්ඩායම් (කාන්තා) ශුරතාව ගුවන් හමුදා කණ්ඩායම විසින් දිනාගත් අතර එහි අනුශුරතාව නාවික හමුදා කණ්ඩායමට හිමි විය.
තරගාවලියේ ත්‍යාග හා ජය සංකේත ප්‍රදානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ත්‍යාග මුදල හා ගෙවීම් ලෙස රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ඔවුන්ගේ කළමනාකරුවන් හා පරිවාර නිලධාරීන්ට බෙදා දුන් බව තරග සංවිධායකයෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.