Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගිළිහුණු උඩපන්දුව වේදනා දෙයි
ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය

ගිළිහුණු උඩපන්දුව වේදනා දෙයි

editorial - 2022 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දුන් උඩපන්දු දෙකක්ම අතහැරීමෙන් අනගි ප්‍රයෝජන ගත් ග්ලෙන් පිලිප්ස්, සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී ලකුණු 55 ක ජයක් කරා යාමට නවසීලන්තයට පාර කපා දුන්නේය.

ලකුණු 168 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 102 කට දැවී ගියේය. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිතිකරුවෝ, ග්ලෙන් පිලිප්ස්ගේ ශතකයෙන් ලැබුණු සවිය මත කඩුලු 7 කට ලකුණු 167 ක් ලබාගත්හ.

නවසීලන්ත ආරම්භය අසාර්ථක වීම හේතුවෙන් ඉනිමේ තුන්වැනි ඕවරයේදීම පිටියට පිවිසි ග්ලෙන් පිලිප්ස්, පන්දු 64 කට මුහුණ දීමෙන් පසුව ලකුණු 104 ක් ලබා අවසන් ඕවරයේදී දැවී යන විට හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණ.
එය නවසීලන්ත පිතිකරුවකු වි-20 ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් දෙවැනි ශතකය මෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ලබාගත් දෙවැනි ශතකයකද වෙයි.

මහීෂ් තීක්‍ෂණ, ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත තිදෙනාගේ පන්දු යැවීම හමුවේ නවසීලන්තයත් ආරම්භයේදීම අමාරුවේ වැටිණ. ප්‍රහාරාත්මක ඕවර 6 අවසන් වන වට නවසීලන්ත ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 3 කට ලකුණු 25 කි. හත්වැනි ඕවරයේදී ලැබුණු ඉතාම පහසූ උඩපන්දුවක් පැතුම් නිස්සංක වෙතින් ගිළිහී යන විට ග්ලෙන් පිලිප්ස් ලබා සිටියේ ලකුණු 11 කි.

එතැන් සිට පරෙස්සම් සහගත ගමනක් ඇරඹූ පිලිප්ස්, ඉනිමේ 12 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 40 ක් ලබා සිටියේය. ඒ වන විට සම්පූර්ණ නවසීලන්ත ඉනිමට ඇතුළත් වී තිබුණේත් හයේ පහරක් සහ හතරේ පහර 4 කි. එහෙත් එතැන් සිට ගිනිකෙළි සංදර්ශනය ආරම්භ විය.

අවසන් ඕවර 6 න් තනිවම ලකුණු 62 ක් උදුරාගත් ග්ලෙන් පිලිප්ස් පන්දු 61 කින් සිය ශතකය සම්පූර්ණ කළේය. අවසන් ඕවර 6 දී පිලිප්ස්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 17, 7, 8, 13, 7 ක් සහ 10 ක් ලෙසිනි. අසම්මත පහර කිහිපයක් මුදාහළ ග්ලෙන් පිලිප්ස්ගේ ආක්‍රමණය හේතුවෙන් අවසන් ඕවර 8 දී ලකුණු 97 ක් නවසීලන්තයට එක්විය.

විනාශකාරී ආරම්භයක් ගත් ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 ක්, ටිම් සවුති සහ ටේ‍රන්ට් බෝල්ට් දෙදෙනා එක්ව  ලකුණු 06 ක් ඇතුළත බිම දැමූහ. ඉනිමේ 7 වැනි ඕවරය නිමාවන විට ලකුණු 30 කට ඉදිරිපෙළ පිතිකරුවෝ පස්දෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් තිබිණ. එතැනින් වැටුණ ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමක් නොවීය.

භානුක රාජපක්‍ෂ (34) සහ දසුන් ශානක (35) දෙදෙනාම සටන්කාමී පිතිහරඹයකට වන් නමුත්, කේන් විලියම්සන්ගේ අණට නතුවූ කුළී සොල්දාදුවන් පිරිසක් වන් නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ භානුක හෝ දසුන් දෙදෙනාගෙන් කිසිවකුට වැඩිදුර යා නොහැකි විය.


අදහස් (0)

ගිළිහුණු උඩපන්දුව වේදනා දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.