Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගයික්වාඩ් - කොන්වේ - මුකේෂ් චෙන්නායි පිලට ජය ගෙනෙති
අයි.පී.එල්. - 2022

ගයික්වාඩ් - කොන්වේ - මුකේෂ් චෙන්නායි පිලට ජය ගෙනෙති

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුතුරාජ් ගයික්වාඞ්ගේ (99) සහ ඩෙවෝන් කොන්වේගේ (නොදැවී 85) විශිෂ්ට පිතිහරඹයත් මුකේෂ් චෞද්‍රී (46/4) දක්ෂ පන්දු යැවීමත් හමුවේ සන්රයියසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පූනේහිදී අද (1 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 46 වැනි තරගය ලකුණු 13 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය සන්රයියසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුල 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ අභිෂේක් ෂර්මා සහ කේන් විලියම්සන් සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පන්දු 35 කදී ලකුණු 58 ක් ලබාගැනීමට සමත්වූහ. 

අභිෂේක් ෂර්මා පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් අතර කේන් විලියම්සන් පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 47 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දැවීයාමෙන් පසුව මැද පෙළ පිතිකරු නිකලස් පූරන් වේගවත් පිතිහරඹයක නිරත වූ නමුත් අනෙක් පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට චෙන්නායි පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 33 කදී නොදැවී වේගවත් ලකුණු 64 ක් ලබාගැනීමට නිකලස් පූරන් සමත්විය.

මුකේෂ් චෞද්‍රී සිය ඕවර 4 තුලදී ලකුණු 46 ක් ලබාදෙමින් කඩුලු 4 ක් දවාගත් අතර මහේෂ් තීක්‍ෂණ කඩුල්ලක් දවානොගත්තද සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් චෙන්නායි පිලේ ජයග්‍රහණයට දායක විය.

කාසියේ වාසිය දිනාගත් සන්රයියසස් හයිද්‍රාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 202 ක් ලබාගැනීමට සමත්විය.

ආරම්භක කඩුල්ල සඳහා පන්දු 107 කදී ලකුණු 182 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යාමට රුතුරාජ් ගයික්වාඞ් සහ ඩෙවෝන් කොන්වේ සමත්වූහ.

රුතුරාජ් ගයික්වාඞ් පන්දු 57 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 99 ක් ලබාගත් අතර ඩෙවෝන් කොන්වේ පන්දු 55 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය.

රුතුරාජ් ගයික්වාඞ් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

 

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 202
(රුතුරාජ් ගයික්වාඞ් 99, ඩෙවෝන් කොන්වේ නොදැවී 85, ටී. නටරාජන් 42/2)

සන්රයියසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 189
(අභිෂේක් ෂර්මා 39, කේන් විලියම්සන් 47, නිකලස් පූරන් නොදැවී 64, මුකේෂ් චෞද්‍රී 46/4)

- 2079


අදහස් (0)

ගයික්වාඩ් - කොන්වේ - මුකේෂ් චෙන්නායි පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.