Last Update  :  2025-09-11 22:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝපා කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයේ පතුරු ගලවයි

කෝපා කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයේ පතුරු ගලවයි

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020-21 වසරවලට අදාළ විගණකාධිපති වාර්තාව හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) කැඳවූ එහි ප්‍රධානීන් ඒ සඳහා පෙර සූදානමකින් නොපැමිණීම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදයට පළවී තිබේ.

රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් නොමැතිවීමත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැතිවීම පිළිබඳවත් එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දෝෂදර්ශනයට ලක් කළ ‘කෝපා’ කමිටුව නැවත විධිමත්ව සූදානමකින් පැමිණ ලබන ඔක්තෝබර් 20 වැනිදා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එහි ප්‍රධානීන්ට නියම කළේය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝපා කමිටුව පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී ඉහත නියෝගය ලබාදුන්නේය.

කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඒ.එල්.එම්. අතාවුල්ලා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ යන මහත්ම මහත්මීහු ද එහි අසුන්ගෙන සිටියහ.

කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය හා එහි අනුබද්ධිත දෙපාර්තමේන්තුව වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කෝපා කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු  යන නිලධාරීන්ගෙන් සමන්විත පිරිසක් කෝපා කමිටුව හමුවේ පෙනී සිටියහ. ඔලිම්පික් ක්‍රීඩා ඉසව් කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද යන්න කෝපා කමිටුව කළ විමසුමට පිළිතුරුදීමට පැමිණ සිටි නිලධාරිහු අපොහොසත් වූහ.

මාතෘකාවට බඳුන්වූ 2020-21 විගණන වාර්තාවේ සඳහන් කරුණු විමසීමේ දී ද නිලධාරින් නිරුත්තරවූ අතර කෝපා කමිටුවේ සභාපතිවරයා පැවැසුවේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට කැඳවූ මෙම නිලධාරීන් පෙර සූදානමකින් නොපැමිණීම පිළිබඳව දැඩිව අප්‍රසාදය පළකරන බවයි. එසේම එය රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කනගාටුදායක තත්ත්වයක් බවත් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ලියාපදිංචි ක්‍රීඩා සංඛ්‍යාව  73 ක් වන බවට කමිටුව කළ විමසුමකට පිළිතුරු දුන් මෙම නිලධාරීන් පසුගිය වසර පහක කාලය තුළදී ක්‍රීඩා ඉසව්වලින් අත් කර ගෙන තිබෙන වාර්තා පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව එල්ලේ සිට වොලිබෝල් දක්වා සංශෝධනයවීම සම්බන්ධයෙන් අනුගමනය කළ නිර්නායක පිළිබඳව කමිටුව කළ විමසුමකට ද පෙනී සිටි නිලධාරින්නේ පිළිතුරක් නොලැබුණි. එසේම ක්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධිකරණයක් ඇති කර  නොගැනීම තුළින් පාසලෙන් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමට ලඟාවීමට පැහැදිලි සැළැස්මක් නැති බවත් කෝපා කමිටුවේ නිරීක්ෂණයට ලක්විය.

ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරය පිළිබඳව මෙම ආයතන දෙකේ නිලධාරීන්ට අවබෝධයක් නොමැතිවීම පිළිබඳවත් ටොරින්ටන් පෙදෙසේ ඉදිකර ඇති හොකී ක්‍රීඩා සංකීර්ණය විනාශ වෙමින් පැවතීමත් කමිටුවේ අවධානයට යොමුවිය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවල දී දැනට නියෝජනය කරන ස්ථානයන් පිළිබඳව වාර්තාවක් තමන්ට මීලඟ රැස්වීමේ දී ලබාදෙන ලෙසත් කමිටුව තවදුරටත්  ආයතන දෙකේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

කෝපා කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා/ අධ්‍යක්ෂ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා  මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.


අදහස් (0)

කෝපා කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයේ පතුරු ගලවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.