Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝඩුකාර ෆෝක්ස් එංගලන්තය ගොඩගනී

කෝඩුකාර ෆෝක්ස් එංගලන්තය ගොඩගනී

Nisanka Sandeepani - 2018 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ වාසිය මුලින්ම ග්‍රහණය කරගන්නා ලද නමුත් පසුපෙළ පිතිකරුවන් දැක්වූ දායකත්වය හේතුවෙන් හිස් ඔසවාගත් එංගලන්ත ක්‍රීඩකයෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියහ. සිය මංගල ටෙස්ට් තරගයේදීම විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කෝඩුකාර බෙන් ෆෝක්ස් (නොදැවී 87) එංගලන්තය මෙම ස්ථාවර ස්ථානයට කැඳවාගෙන ඒමේ නියමුවා වූයේය. 

ලකුණු 103 කට කඩුලු 5 ක් බිඳවැටී තිබයදී පිටියට පිවිසි කෝඩුකාරයා එතැන් සිට 6 වැනි, 7 වැනි සහ 8 වැනි කඩුලු වෙනුවෙන් පිළිවෙලින් ලකුණු 61 ක, 88 ක සහ 54 ක  සම්බන්ධතා ගොඩනංවමින් එංගලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 300 න් ඔබ්බට රැගෙන ගියේය. විනාඩි 260 ක් පුරා සිය කඩුල්ල රැකගත් ෆෝක්ස් පන්දු 184 කට මුහුණ දෙමින් ඒවායින් 6 ක් හතරේ සීමාවට යැවීය. 

වමත් - දකුණත් සංයෝගය හේතුවෙන් පන්දු රකින්නන් පිටිය පුරා විසුරුවා දැමීමට ශ්‍රී  ලංකා නායකයාට සිදුවී තිබිණ. ඊට ප්‍රධානම හේතුවක් වූයේ එංගලන්ත පසුපෙළ පිතිකරුවන් සියලු දෙනාම පාහේ පිටියේ දෙපැත්තෙන්ම සාර්ථකව ලකුණු ලබාගැනීමයි. 

පිටියේ පරතරය තිබෙන තැන් හරහා පන්දුව හතරේ සීමාවට යැවූ එංගලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට අභීතව මුහුණ දුන්හ. දිවා ආහාරය වන විට ලකුණු 113 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි නමුත් දිවා ආහාරයත් තේ පානයත් අතර තම කඩුලු රැකගත් ඔව්හු හෝරා දෙකක් ඇතුළත ලකුණු 86 ක් තම පිලට එක්කළහ. තේ පානයෙන් පසුව එක්වූ ලකුණු සංඛ්‍යාව 122 කි. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත් එකම පන්දු යවන්නා වූ ඩිල්රුවන් පෙරේරා හමුවේ ප්‍රවේසම් වීමට එංගලන්ත පිතිකරුවන් වගබලාගත් නමුත් බිඳ වැටුණු කඩුලු 8 න් හතරකම හිමිකරුවා වූයේ ඩිල්රුවන්ය. එක්දින තරගාවලියේදී සාර්ථක වුවද අකිල ධනංජය අද තරගයේදී සෑහෙන ප්‍රහාරයකට ලක්විය. කෙසේ වෙතත් අකිල ධනංජයගේ පළමු පන්දුවාරයේදී කීටන් ජෙනිංග්ස් විසින් දෙන ලද උඩපන්දුවක් ස්ලිප් හි සිටි ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිලිහී ගියේය. 

ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 100 ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා කඩුල්ලක් පමණක් අවශ්‍යව සිටි රංගන හේරත් එංගලන්ත නායක ජෝ රූට් පිටියෙන් ඉවත් කරමින් සිය 431 වැනි කඩුල්ලත් තමන්ගේ කඩුලු මල්ලට එකතු කරගත්තේය. මේ වන විට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේ සිටින රංගන හේරත්ට තවත් කඩුලු 3 ක් හෝ 4 ක් ලබාගත හැකිනම්  ලෝකයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නන් අතරේ හත්වැනි ස්ථානය ගැනීමේ අවස්ථාවද තිබේ. 

කෙසේ වෙතත් ඔහු දැනටමත් ලෝකයේ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වී හමාරය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් තුන්වැනි ඕවරයේදීම කඩුලු දෙකක් අහිමිකරගැනීමට එංගලන්ත පිලට සිදුවිය. සුරංග ලක්මාල්ගේ පන්දුවකට ග්ලාන්ස් පහරක් ගැසීමට යාමේදී කඩුලු රකින්නාට උඩපන්දුවක් දීමෙන් ජෝ බර්න්ස් දැවී යාමත් මුයින් අලීගේ පිට ඉන්න ඉදිරී, කරත්ත රෝදයක ගරාදි කරකැවෙන්නාන් මෙන් විසිවී යාමත් අතර වෙනස එක පන්දුවක් පමණි. 

සිදුවූ හානිය ගණනට නොගත් නායක ජෝ රූට් (35) සහ ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 60 ක් එක් කළහ. එහෙත් ටෙස්ට් කඩුලු 430 ක හිමිකරුවකු වන රංගන හේරත්ව, ඔහුගේ සාර්ථක ක්‍රීඩාංගණයේදී අවතක්සේරු කළ එංගලන්ත නායකයා තම කඩුල්ල අහිමි කරගත්තා පමණක් නොව තරගයේ වාසිය නැවත උදුරා ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකා පිලට දුන්නේය. 

රූට්ගේ දැවී යාමත් පැඞ්ල් ස්වීප් පහරකින් කඩුල්ල අහිමි කරගත් බෙන් ස්ටෝක්ස්ගේ දැවී යාමත් අතර ලකුණු 31 කදී කඩුලු 3 ක් බිඳ වැටිණ. 

සම්පූර්ණ දින දෙකක් පුරා වසා දමා තිබූ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් ඇතුළත පෙදෙස අද පෙරවරුවේදී විවෘත කරන ලෙස නියෝග කළ විනිසුරුවරු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට තීරණය කළහ. නවසීලන්ත ජාතික ක්‍රිස් ග්‍රැෆනි සහ දකුණු අප්‍රිකානු ජාතික මාරියස් එරැස්මස් යන මහත්වරු මෙම තරගයේ විනිසුරුවරු ලෙසින් කටයුතු කරති. 

හිරු රැස් බිඳක්වත් පෙනෙන්නට නොමැති ගාල්ල ක්‍රීඩාංගණයේ පේ්්‍රක්‍ෂකාගාර සියල්ලම එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබේ. ගාල්ල ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ සිට ගාලු කොටුපවුර දෙස බැලූ කල්හි සිහිවන්නේ එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ටී්‍රට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයකි. අතිශය සුන්දර පසුබිමක් සහිත චෙස්ටර් ලී ස්ටී්‍රට් ක්‍රීඩාංගණයේ උස් ගොඩනැඟිලි ඇත්තේම නැති තරම්ය. 

මෙම තරගය සඳහා තනි වේග පන්දු යවන්නකු සමගින් පිටියට පිවිසීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නාගේ ස්ථානයටද අකිල ධනංජය තුන්වැනි දඟ පන්දු යවන්නාගේ ස්ථානයටද කැඳවා තිබේ. 

එංගලන්ත පිල වෙනුවෙන් කෝඩුකාරයෝ දෙදෙනෙක් අද ටෙස්ට් හිස්වැස්ම දිනාගත්හ. බෙන් ෆෝක්ස් සහ ජෝ බර්න්ස් යන දෙදෙනාම කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්ත පිලට ක්‍රීඩා කරන සමයේ සිටම සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරති. 

 

 

 

 

 

 

1 2 3 5 7 9 87 

 

තරගයේ විශේෂ අවස්ථා සඳහා

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 


අදහස් (0)

කෝඩුකාර ෆෝක්ස් එංගලන්තය ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.