Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝටි 30ක වියදම් ඇස්තමේන්තුවක්

කෝටි 30ක වියදම් ඇස්තමේන්තුවක්

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

විශේෂ පාපන්දු ව්‍යාපෘති කීපයක් අලුතින් ඇරඹීම සඳහා" ශ්‍රී ලංකා පාපන්දු ආයතනය,  රුපියල් කෝටි 30ක වියදම් ඇස්තමේන්තුවක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට යොදා ගන්නා ක්‍රීඩාංගණ හතරක් නවීකරණය කිරීමට ද කටයුතු කෙරේ.

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය, කැලණිය පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටිය, කොළඹ සිටි ලීග් පිටිය හා මාතර ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටිය මෙම අරමුදල් යොදා නවීකරණය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කළ මෙම වියදම් ඇස්තමේන්තුවට අන්තර්ජාතික පාපන්දු සමුළුව මේ වනවිටත් යහපත් ප්‍රතිචාරයක් පළකර තිබෙන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් පාපන්දු ක්‍රීඩාවට වන බලපෑම සම්බන්ධයෙන් ඉකුත්දා දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා සමග සාකච්ඡා කර ඇති අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා දැනට මෙරටට ලබාදෙන අරමුදල් වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සිය අවධානය යොමු කරන බව පවසා තිබේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුවට වාර්ෂිකව සිය සාමාජික රාජ්‍යයන්ට ලබාදෙන මුදල් ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වාර්ෂිකව ලැබේ. ඒ විශේෂ ව්‍යාපෘති හා යටිතල පහසුකම් නැංවීමේ වැඩසටහන් සඳහා ලබාදෙන අරමුදල් හැරෙන්නටය.  ඇමරිකානු ඩොලර් මිලියන 1.5, අද ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වටිනාකම රුපියල් කෝටි 50කට මඳක් වැඩිය.

පාපන්දු ආයතනයේ වත්මන් සභාපතිවරයා පවසන්නේ දැනට ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයට ලැබෙන විදේශීය ආධාර මුදල් ප්‍රමාණය ඉදිරියේදී රුපියල් මිලියන 300 සිට 600ක් දක්වා නංවා ගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉසව්වක් සඳහා දෙවැනි වැඩිම විදේශ ආධාර ලැබෙන්නේ පාපන්දු ක්‍රීඩාවටය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමට පමණක් එය දෙවැනි වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන හයක් තරම් අගයක් ගනියි.


අදහස් (0)

කෝටි 30ක වියදම් ඇස්තමේන්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.