Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝටි 15 ක් කාබාසිනියා කළ පානදුරේ ක්‍රීඩාංගණ සිහිනය

කෝටි 15 ක් කාබාසිනියා කළ පානදුරේ ක්‍රීඩාංගණ සිහිනය

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් ප්‍රේමතිලක)

කොළඹ දිස්ත්‍රික්කය හැරුණු විට දිවයිනේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වාසය කරන කළුතර දිස්ත්‍රික්කයට අයත් පානදුර ප්‍රදේශයට ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක  අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිට පවතී.

පානදුර නගරයේ පාසැල් 15 ක් ද ඇතුළුව අධ්‍යාපන  කොට්ඨාශයේ  පාසල් 50 ක සිසු සිසුවියෝ, ගුරුවරු,  මව්පියෝ,  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම පුහුණු කරුවෝද දශක කිහිපයක සිටම අංගසම්පූර්ණ ක්‍රීඩාංගනයක සිහිනය දකිමින් සිටිති.

1992 වර්ෂයේ, එවකට පැවති රජය පානදුර ප්‍රදේශයට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත්  ක්‍රීඩාංගණයක් ඉදිකිරීම  සඳහා නගරයට පෙනෙන මායිමේ දුරින් පිහිටි  මෝදරවිල ප්‍රදේශයේ අක්කර 14 ක භූමි භාගයක් වෙන්කලේ ඒ නිසාමය. පසුව එම ඉඩමෙන් අක්කර 5 ක කොටසක් කර්මාන්තශාලාවකට වෙන්කර ඇත.

මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ක්‍රීඩා ඇමතිවරුන් තිදෙනෙකු මුල්ගල් තබා ඇති නමුත් එහි සිදුකර ඇත්තේ අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු කරමින් වරින් වර පස් පිරවීම පමණක් බැව් පැවසේ . ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 150 ක් හෙවත් කෝටි 15 කට අධික බැව් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැවසීය .

අක්කර 5 ක් කර්මාන්ත ශාලාවකට වෙන්කළ පසුව, ක්‍රීඩා ක්‍රීඩාපිටියට ඉතිරි වූ අක්කර 9 භූමි භාගයෙන් තවත් අක්කර  එක හමාරක් වෙනත් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට වසර 30 කට බදුදී ඇති බවත්, තවත් අක්කර 1.5 ක කොටසක් වෘත්තීය පුහුණු අධිකාරියට මොනයම් ආකාරයකින් හෝ පවරා ඇතැයිද පැවසේ . ඒ අනුව අක්කර 14 ක් වෙන්කළ ක්‍රීඩාංගණයට දැන් ඉතිරි වී ඇත්තේ අක්කර 6 ක් පමණි.

මේ නිසාම වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2020 වසරේ දෙසැම්බර් 4 දා කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ බළධාරින්  කැටුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ , ඉහළ රාජ්‍ය නිලධාරින් , ක්‍රීඩා උපදේශකයින් පුහුණුකරුවන් , පාසල් ක්‍රීඩා භාර නිලධාරින් මෙන්ම ජාත්‍යන්තරය ජයගත් පානදුර ප්‍රදේශයෙන් බිහි වූ ක්‍රීඩකයින් ඇතුළු සිය ගණනක් සහභාගී වූහ .

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ඉක්මනින්   ළඟාවීමට ඇති හැකියාව සහ ප්‍රදේශයට ජාතික මට්ටමේ ක්‍රීඩා පිටියක අවශ්‍යතාව ඇතුළු  කරුණු  රාශියක් සැලකිල්ලට ගෙන, මෙම ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වසර 2020 දෙසැම්බර් 04 වැනිදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අත්තනෝමතික ආකාරයකින්, පෞද්ගලික ව්‍යාපාරිකයකුට පවරා ඇතැයි කියන අක්කර 1.5 ක කොටස නැවත පවරාගෙන   2021 ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි. එය අදියර දෙකක් යටතේ  මීටර් 400 ධාවන පථයකින් යුක්තව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම  වොලිබෝල්, පැසිපන්දු, දැල්පන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩාවන්හි නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය උදෙසාත් සාදා දෙන බවකි. පිහිණුම් තටාකයක්ද එහි ඉදිකරන බවත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පොරොන්දුවට  වසරක් ගෙවී ගොස් තිබේ. එහෙත් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා තියා අඩුතරමේ මැනුම් කටයුතු හෝ මේ වන විටත් සිදුකර නොමැති බව පානදුර ප්‍රදේශයේ ක්‍රීඩා බලධාරීහු චෝදනා නඟති .

එපමණක්ද නොව, මේ අතරවාරයේ එහි තවත් බොහෝ දේ සිදුවී තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා 2020 දෙසැම්බර් මාසයේදී එහි සංචාරය කළ මොහොතේ ක්‍රීඩා පිටියට වෙන්කල භූමි භාගයේ කිසිදු ඉදිකිරීමක් කරනු නොතිබිණ. එහෙත් මේ වනවිට පෞද්ගලික ආයතනයට පවරා ඇති අක්කර 1.5 ක කොටසේ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබේ.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කයේ  දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මුනිවත රකිති.  ක්‍රීඩාංගණයක් ඉදිකර දීමේ පොරොන්දු කාලයේ දියවෙමින් යද්දී, පානදුර ප්‍රදේශයේ ජනතාව දකිමින් සිටි ක්‍රීඩාංගනයක සිහින දිනෙන් දින බොඳ වෙමින් තිබේ.

 

(ඡායාරූප - පානදුර සුමිත් ප්‍රේමතිලක)


අදහස් (0)

කෝටි 15 ක් කාබාසිනියා කළ පානදුරේ ක්‍රීඩාංගණ සිහිනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.