Last Update  :  2024-05-17 10:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෙන්යානු ජයග‍්‍රහණයේ රහස හෙළිවෙයි

කෙන්යානු ජයග‍්‍රහණයේ රහස හෙළිවෙයි

ශනුක අරවින්ද - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උසේන් බෝල්ට් සහ ෂෙලී ඈන් ෆේ‍්‍රසර් දෙදෙනාගේ දස්කම් වලට ස්තුති වන්නට මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී කෙන්යානුවන් ලබාගත් රන් පදක්කම් 7 සම කිරීමට ජැමෙයිකාවට අවස්ථාව ලැබිණ. ඒ මීටර 400X4 සහාය දිවිමේ ඉසව්වත් ජයගැනීමෙනි.

ජැමෙයිකාව දිනාගත් රන් පදක්කම් 7 න් 6 කටම හිමිකම් කීවේ උසේන් බෝල්ට් (මීටර 100, මීටර 200 සහ මීටර 100X4 සහාය දිවීම) සහ ෂෙලී ඈන් ෆේ‍්‍රසර් ප‍්‍රයිස් (මීටර 100 කාන්තා, මීටර 100X4 කාන්තා සහ මීටර 100 කඩුලූ පැන දිවීම) දෙදෙනාය.

එහෙත් චීනයේ බීජිං නුවරදී පැවැති 15 වැනි මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී මුල් තැන දිනාගත්තේ තුන්වැනි ලෝකයේ රටක් වශයෙන් තවමත් සැලකෙන කෙන්යාවයි.

රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගින් ජැමෙයිකාව පදක්කම් 12 ක් දිනාගනිද්දී බීජිං නුවරදී රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගින් පදක්කම් 16 ක් දිනාගැනීමට කෙන්යානුවෝ සමත් වූහ. එය ඔවුන් මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලිය ජයගත් පළමු අවස්ථාව විය. එපමණක් නොව, අපි‍්‍රකානු රාජ්‍යයක් මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලිය වැනි ලෝකයේ පළමු පෙළ කී‍්‍රඩා උළෙලක ජයග‍්‍රාහකයා වූ පළමු අවස්ථාවද එයම වෙයි.

ආදි කාලයේ සිටම දඩයම් සඳහා සතුන් හඹා ගිය කෙන්යානුවෝ දුක් ගැහැට විඳ දරාගෙන දිවි ගෙවීමට උපන් හපන්නුය. ජවය මෙන්ම දරාගැනීමේ හැකියාව කෙන්යානුවන් සතුව නොඅඩුවම තිබිණ. එය ඔවුන්ගේ මලල කී‍්‍රඩාවේ සාර්ථකත්වය වෙනුවෙන් කදිමට යොදාගන්නා කෙන්යානුවෝ දිගු දුර ඉසව් සහ මැදි දුර දිවීමේදී ලෝකයම දිග් විජය කර සිටිති.

බීජිංහිදී මීටර 1500 ඉසව්ව ජයගත් අස්බෙල් කිප්රෝ් ලෝක ශූරතා ති‍්‍රත්වය සම්පූර්ණ කළ අතර ඬේවිඞ් රුඞීෂා මීටර 800 ඉසව්ව ජයගත්තේ මැදි දුර දිවීමේ ඉසව් දෙකේම රන් පදක්කම් තම රටට ගෙනයමිනි. වසර 7 කට පෙර, 2008 බීජිං ඔලිම්පික් උළෙලේදීත් මීටර 1500 ඉසව්ව ජයගත් අස්බෙල් කිප්රෝ විනාඩි 3 තත්ත්පර 34.40 කට ඉසව්ව නිමකරමින් ජයගත්තේ තමන්ගේම සහෝදර කී‍්‍රඩක එලීජා මනනෝගි (වි 3 තත්ත්පර 34.63) දෙවැනි තැනට පත්කරමිනි.

මීටර 3000 බාධක දිවීමේ කාන්තා සහ පිරිමි ඉසව් දෙකේදීම රන් පදක්කම් කෙන්යානුවන් දෙදෙනකුගේ ගෙළට වැටිණ. ඉසිකිල් කෙම්බෝ (පිරිමි) සහ හිවින් කියෙන් ජෙප්කෙමෝ (කාන්තා) මීටර 3000 බාධක දිවීමේ ඉසව් දෙකේ ජයග‍්‍රාහකයෝ වූහ. එහි පිරිමි ඉසව්වේදී පළමු හතර දෙනාම කෙන්යානුවෝ වූහ.

කෙන්යාවේම නිකලස් බෙට්, මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්ව ජයගත් අතර කෙන්යානුවන්ට එතරම් හුරු පුරුදු ඉසව්වක් නොවන හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 92.72 ක දුරක් හෙල්ල විසිකරමින් ජූලියස් යෙගෝ තවත් රන් පදක්කමක් දිනාගත්තේය.

අපි‍්‍රකානු මහාද්වීපයේ දියුණු රටක් ලෙසින් පිළිගැණෙන දකුණු අපි‍්‍රකාවේ කොල්ලෝ කෙල්ලෝ නම් කොතෙකුත් කී‍්‍රඩාවන්ට සහභාගි වෙමින් සිටිති. ජවන ඉසව්, පැනීමේ සහ පිටියේ වෙනත් ඉසව්, පිහිනුම්, අසුන් පිට යාම, වෙඩි තැබීම, ඔරු පැදීම හෝ තවත් කී‍්‍රඩා බොහොමයකින් පදක්කම් පුවරුව සැරසීමට ඔව්හු සූදානම් වෙති. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේත් දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නගරයේදී බව දැනටමත් නිවේදනය වී අවසන්ය.

ඒ කෙසේ වෙතත් ඔවුන් හෙල්ල විසිකිරීම හෝ කඩුලූ පැන දිවීම වැනි ඉසව් කරා උනන්දු නොවනු ඇත.

කෙන්යාව වැනි රටක වෙසෙන ජනයාගේ ශරීරි යාන්ත‍්‍රණය දරා ගැනීමේ හැකියාව වර්ධනය කරන, විශේෂාංග වලින් සමන්විත වන්නේ යයි ඇතැමෙක් කියති. ඔවුන් බොහෝ විට පුහුණු වන්නේද කෙන්යාවේ කඳුකර පෙදෙස් වලය. එලෙස කඳුකර පෙදෙස් වල වෙසෙන ජනයාගේ පා වල ඇති මස්පිඬු අනෙක් තැනැත්තන්ට වඩා වේගයෙන් කි‍්‍රයාකාරී වීමට සුදුසු ලෙස නිර්මාණය වන්නේ යයිද තවත් මතයකි.

ඒ කෙසේ වෙතත් කෙන්යානුවන්ට සහ ඉතියෝපියානුවන් යන දෙකොට්ටාශයටම තමන්ගේ දස්කම් වර්ධනය කරගැනීමට බලපා ඇත්තේ වෙනත් හේතුවකි. එය ශරීර යාන්ත‍්‍රණය හෝ මස්පිඬුවල ශක්තිය නම් නොවේ. එය ආර්ථිකමය කාරණාවකි.

මේ දෙරටේම කී‍්‍රඩා දස්කම් වඩාත් උද්දීපනය වී ඇත්තේ ආර්ථික ප‍්‍රතිපත්ති මත ඇතිවී තිබෙන තත්ත්වයක් නිසා යයි විශ්ලේශකයෝ කියති.

”ලෝක මට්ටමේ තරගාවලියක් ජයගනිමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියරට පැමිණෙද්දී ඔවුන්ට ලැබෙන්නේ ජාතික වීරයකුට ලැබෙන ආකාරයේ පිළිගැනීමකි”

”ඇත්ත ඇති හැටියෙන්ම කියන්නේ නම් දේශානුරාගය යනු වඩාත් හොඳ දස්කම් කිරීමට ඇති උත්තේජකයක් නොවේ. එහෙත් ජයග‍්‍රහණ වෙනුවෙන් මුදල් ත්‍යාග ලැබෙන්නේ නම් එය ජයග‍්‍රහණ වෙනුවෙන් කදිම උත්තේජකයකි. ජවන හා පිටිය ඉසව් පමණක් නොවේ. මැරතන් තරගයක් ජයගැනීමට වුවද එය ප‍්‍රමාණවත් වේ”

යයි කෙන්යාවේ ‘ද ඬේලි නේෂන්’ පුවත් පතට තීරු ලිපියක් ලියන චාල්ස් ඔන්යන්ගෝ පවසයි.

”අනෙක් කාරණාව කීර්තියයි. රට එන්නේ තුන්වැනි තැනටයි” යයිද චාල්ස් ඔන්යන්ගෝගේ ලිපියේ සටහන් වේ.

කෙන්යානු සහ ඉතියෝපියානු මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වඩාත් හොඳින් දස්කම් දක්වන්නට පටන් ගත්තේ 1990 දී විදේශ විනිමය පිළිබඳ නීති රීති ලිහිල් කිරීමෙන් පසුවය.

කෙන්යානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චාල්ස් ඔන්යන්ගෝ මහතා අපූරු කාරණ රැසක් හෙළිදරව් කරයි.

අතීතයේදී අපි‍්‍රකාවේ බොහෝ රටවල ඉතා දැඩි විනිමය නීතිරීති තිබිණ. කිසිවකුට විදේශීය විනිමය ලග තබාගැනීම තහනම් වී තිබිණ.

විදේශයකදී උපයාගනු ලබන ඩොලර් සියල්ලම නැවතත් සියරට පැමිණීමේදී මූල්‍ය බලධාරීන්ට බාර දීම අනිවාර්ය වූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දේශීය මුදල කොතෙක්ද යන්න තීරණය වන්නේ මූල්‍ය බලධාරීන්ගේ අභිමතය පරිදිය.

එහිදී ඔවුන්ට ලැබෙන විනිමය අනුපාතය සාමාන්‍යය තත්ත්වයට වඩා සියයට 10 ක් තරම පහළ මට්ටමක විය.

එහෙත් සියරට පැමිණීමේදී විදේශ විනිමය බාර නොදුන්නොත් ඒ තැනැත්තා අත්අඩංගුවට පවා ගත හැකි බවද ඔන්යන්ගෝ මහතාගේ වාර්තාවේ සටහන් විය.

මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනස් වීමෙන් පසුව කෙන්යාවේ බැංකු වලත් විදේශ විනිමය තැන්පත් කිරීමේ අවකාශ ඇතිකිරීමෙන් මෙන්ම විනිමය අනුපාතය වෙළෙඳපොළ වටිනාකම් අනුව තීරණය වීමත් සමගම කෙන්යාවේ සහ ඉතියෝපියාවේ වඩාත් වේගයෙන් මැරතන් දිවිය හැකි දරුවෝ ඉපදුණහ.

එපමණක් නොවේ. තරග ජයගැනීමෙන් පසුව ජාතික වීරයන් ලෙසින් කෙන්යාවට එන කී‍්‍රඩක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පසුපස යමින් ඔවුන්ව තමන්ගේ දැන්වීම් සඳහා යොදාගැනීමදට විවිධ සමාගම් අතර ඇත්තේ තරගයකි. මේ තත්ත්වය ඉතාමත් හොඳින් ප‍්‍රයෝජනයට ගැනීමට නම් නමක් හදාගත යුතුමය.

කෙසේ වෙතත් බීජිං ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී කෙන්යානුවන් වූ ජොයිස් සකාරි සහ කොකී මනුන්ගා මත්ද්‍රව්‍ය පරීක්‍ෂණ වලින් අසමත් වීම හේතුවෙන් කෙන්යානු ජයග‍්‍රහණයේ දිස්නය තරමක් අවපැහැ විය.

ඒ සම්බන්ධයෙන් දැඩි සේ කණස්සල්ලට පත්ව සිටින කෙන්යාවේ උප ජනාධිපති විලියම් රූටෝ මහතා පවසන්නේ මලල කී‍්‍රඩාවේදී මත්ද්‍රව්‍ය හෝ ශක්තිවර්ධක ඖෂධ ලබාගැනීම ‘අපරාධ’ ගණයේ ලා සැලකීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

”විධායක මට්ටමේදීත් අපි මේ ගැන කතා බහ කරලා තියෙනවා”
”ඉතාමත් ඉක්මනින් අපි මේ ගැන කැබිනට් මණ්ඩලයේ කතාබහට ගන්නවා.

කෙන්යානු මත් ද්‍රව්‍ය විරෝධී ඒජන්සියට ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කි‍්‍රයාත්මක වීමේ බලතල හිමිවන ආකාරයෙන් කටයුතු කිරීමටයි අප සූදානම් වන්නේ” යයිද විලියම් රූටෝ මහතා පවසා තිබිණ.

කෙන්යානු උප ජනාධිපතිවරයාද කී‍්‍රඩාවේ තරම තේරුම්ගෙන සිටින බවක් පෙනෙන්නට තිබේ.

ජොයිස් සකාරි සහ කොකී මනුන්ගාද තමන්ගේ වැරදි වලින් පාඩම් ඉගෙන ගනු ඇත. වඩාත් සුඛෝපභෝගි දිවියක් ගතකිරීමට ඇති හොඳම මග එයයි.

ඒ අතරම කෙන්යානු ධජය කිහිප වතාවක්ම ඉහළට එසවෙනු ඇත. කී‍්‍රඩකයන්ගේ ගත දැවටී ලෝකය පුරා කෙන්යාවට කීර්තිය ගෙනෙනු ඇත.


ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී පසුගිය සතියේ පැවැති ගෝල්ඩන් ලීග් මලල කී‍්‍රඩා තරගයේදී මීටර 3000 බාධක දිවීමේ ඉසව්ව ජයගත් පෝල් කිඔච්


අදහස් (0)

කෙන්යානු ජයග‍්‍රහණයේ රහස හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.