Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා සංගම් 10 කට රුපියල් කෝටි 30 ක්

ක්‍රීඩා සංගම් 10 කට රුපියල් කෝටි 30 ක්

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඉසව් දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගම් වෙත මේ වනවිට රුපියල් කෝටි 30 කට වැඩි මුදලක් අනුමත කර තිබේ. ඒ සඳහා මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව මෙම මුදල් අනුමත කිරීම නිර්දේශ කර තිබේ.

රුපියල් කෝටි 30 ක් හෙවත් මිලියන 300 කට වැඩි මෙම මුදල් අනුමත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් 9 ක් හා විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) පුද්ගලයන් සඳහා වන පැරා ක්‍රීඩා ඉසව් මෙහෙයවන ජාතික පැරඔලිම්පික් කමිටුව සඳහාය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවැසුවේ මෙම වසර (2021) සඳහා ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත, ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකටම රැපියල් කෝටි 50 ක් දක්වා මුදල් අනුමත කිරීමට තීරණය කර ඇති බවයි.

“වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ පත්වීමෙන් පස්සේ ප්‍රකාශ කළා එතෙක් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වාර්ෂිකව වැය කළ අමාත්‍යාංශ ප්‍රතිපාදන 7෴ හතේ සිට 20෴ ක් දක්වා වැඩි කරන්න“
“ඇමැතිවරයා එහෙම තීරණයක් ගත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එතෙක් වැය කළ අමාත්‍යාංශ මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා. ජාතික ක්‍රීඩා සංගම් සඳහා මුදා හැරෙන මෙම මුදල් භාවිත කිරීමේදී නියාමනයකට යටත් කෙරෙනවා“ යයිද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මුදල් වියදම් කිරීමේදී මූලික ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කරන අවස්ථා හෙළිවුවහොත් වෙන් කළ ප්‍රතිපාදන අනුමැතිය එතැන්සිට අත්හිටුවන බවයි. මේ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා පවසන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් දක්ෂතා ප්‍රවර්ධන කමිටුවේ සැළැසුම් මත ජාතික ක්‍රීඩා සභාව මෙම මුදල් ගෙවීමට නිර්දේශ කරන බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ප්‍රවර්ධනයට අනුමත කෙරෙන මෙම මුදල් අවභාවිත කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සේ සැලකෙන බැවින් නිරන්තරයෙන්ම විගණන පරීක්ෂාවකට ලක් කරමින් මෙම මුදල් අනුමැතිය නිර්දේශ කරන බවත් මහේල ජයවර්ධන මහතා පැවසීය.

වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ පත්වීමෙන් පසුව, ජාතික ක්‍රීඩා සංගම් හැරෙන්නට තවත් ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් මුදා හැර තිබීම කැපී පෙනේ. ඒ අතර දැන් පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වැය කරන මුළු මුදල රැපියල් මිලියන 46.2 ක් හෙවත් රැපියල් කෝටි හතර හමාරකි. ඇමැතිවරයා එම මුදල මුදා හැරියේ ඒ සඳහා වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්වූ අවස්ථාවේදී ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

ඉදිරියේදී ජිම්නාස්ටික්, රග්බි, මලල ක්‍රීඩා, ජූඩෝ ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් රුසකටද මේ අන්දමින් අමාත්‍යාංශයෙන් මුදල් මුදා හැරීමට නියමිතය. මෙම මුදල් වෙන් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ අදාළ ජාතික ක්‍රීඩා සංගමය අතර ගිවිසුමක් ඇතිකර ගැනේ.

ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත, ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා ඉසව් සඳහා මෙතෙක් අනුමත කර ඇති මුදල් (ආසන්නතම අගය දක්වා)

වොලිබෝල් / වෙරළ වොලිබෝල් - මිලියන 43
බොක්සිං - මිලියන 51
මේසපන්දු - මිලියන 35
කරාටේ - මිලියන 20
පිහිනුම් - මිලියන 5.7
ටෙනිස් - මිලියන 20
කබඩි - මිලියන 42
බැඩ්මින්ටන් - මිලියන 35
ඉලක්කයට වෙඩිතැබීම – මිලියන 13
පැරලිම්පික් - මිලියන 48

 


අදහස් (0)

ක්‍රීඩා සංගම් 10 කට රුපියල් කෝටි 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.