Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 නිලවරණයට පෙර, හිටපු සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය සාකච්ඡාවකදී... හිටපු ලේකම් මොහාන් ද සිල්වා සහ හිටපු උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
(පුස්තකාල ඡායාරූපය - ක්‍රිෂාන් ශෂික රණසිංහ)
--------------------
දමින්ද විජේසූරිය
--------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට (20 වැනිදා) පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහ සභා රැස්වීමත් හෙටම පවත්වා අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උසස් නිලධාරියෙක් අද (19 වැනිදා) සවස කෙළිමඬලට පැවසීය. මහ සභා රැස්වීම පැවැත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවත් හෙට දිනයේම පත්කර ගන්නා බවත් හෙට සිටම සිය කටයුතු ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණ පාලන බලය හිමි ක්‍රිකට් විධායක කමිටුවට සාමාජිකයෝ 19 දෙනෙක් ඇතුළත් වෙති.
ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් නොදමා සූම් තාක්‍ෂණය ඔස්සේ මේ මස 20 වැනිදාම පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළ අතර අමාත්‍යංශ නිලධාරීන් කියා සිටියේ නිලවරණය පමණක් පැවත්වෙන බවත්, වාර්ෂික මහ සභා රැස්වීම පසුව පැවැත්වෙන බවත්ය. වාර්ෂික ගිණුම් වාර්තාව ඉදිරිපත් කරමින් වාර්ෂික මහ සභා රැස්වීම පසුව පැවැත්වෙන බව ද අමාත්‍යංශ නිලධාරීහු කියා සිටියහ.
එසේ වුවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් අප්‍රේල් මස 4 වැනිදා නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට අනුව, මැයි මස 20 වැනිදා නියමිත පරිදි නිලවරණය පැවැත්වීමෙන් පසුව, ක්‍රිකට් කළමණාකරණ මණ්ඩලයේ කටයුතු නිමාවට පත්වන බවත් නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු ක්‍රිකට් ආයතනයේ කටයුතු බාරවන්නේ නව නිලධාරී මණ්ඩලයට බවත් එහි හිටපු නිලධාරීහු කියති.
“අපි ඉක්මනින්ම වැඩට බහින්න ඕනා. ඒ නිසා අපි හෙටම වාර්ෂික මහ සභාවත් තියලා විධායක කමිටුව පත්කර ගන්නවා... ගිණුම් වාර්තාව අනුමත කරගන්න පස්සේ අති විශේෂ මහ සභා රැස්වීමක් තියෙනවා” යයි හිටපු නිලධාරී මණ්ඩලයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.
නිලවරණ කමිටු සභාපතිනි, විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වේ. සූම් තාක්‍ෂණය ඔස්සේ නිලවරණය පැවැත්වේ.
නිලවරණයෙන් අනතුරුව සූම් තාක්‍ෂණය ඔස්සේම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීමෙන් පසු ක්‍රිකට් විධායක කමිටුව හෙට පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත පැමිණීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.
ක්‍රිකට් විධායක කමිටුව (19)
සභාපති, උප සභාපතිවරු (2), ලේකම්, සහකාර ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, පාලන ක්‍රීඩා සමාජ නියෝජිතයෝ (2), අනුබද්ධ ක්‍රීඩා සමාජ නියෝජිත, දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් නියෝජිත, රැකියා සංගම් නියෝජිත (2), විනිසුරු කමිටු සභාපති, තරගමාලා කමිටු සභාපති, තේරීම් කමිටු සභාපති, කාන්තා ක්‍රිකට් සංගම් නියෝජිතවරිය, පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිත සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතවරයා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.