Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර එක හමාරකට ආසන්න කාලයක් පුරා සහභාගි වූ විස්සයි-20 තරගාවලි පහක්ම පිට පිට පරජය වූ හෙයින් මහත් මනස්තාපයට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීහු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරමින් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වනවාට වඩා ක්‍රිකට් ලෝලීන්ගේ මහත් දොම්නසට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන ලැජ්ජා සහගත ආකාරයයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සෙනසුරාදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය ක්‍රිකට් ලෝලීන්ගේ මහත් කෝපයට මෙන්ම අවඥාවටත් සමච්චලයටත් ලක්වී තිබේ. අනෙක් අතට ඔවුන්ගේ සෘජු කෝපය එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, එහි නිලධාරීන්ට සහ වසර ගණනාවක් පුරා පවතින අකාර්යක්‍ෂම පරිපාලන රටාව සම්බන්ධයෙනි.
මේ වන විට ලෝකය පුරා අතිශය බලසම්පන්න තත්ත්වයකට පත්ව තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීහු තමන්ගේ අවඥා සහගත සරදම්, කණස්සල්ල මෙන්ම කෝපය ද මුදාහරිමින් සිටිති. ඒ අතරවාරයේදීම මේ වන විට විශ්‍රාම ලබා සිටින හිටපු ක්‍රීඩකයන්ගේ දස්කම් යළි යළිත් ගෙනහැර දක්වමින් ඔවුන් අගය කරති.
වසර 2006 දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී කළ සංචාරයේ තරගයක් රූපවාහිනියෙන් විකාශය කෙරෙමින් පැවැති අවස්ථාවක දසුනක් එක් ට්විටර් පණිවුඩයකට අමුණා තිබිණ. එහි සනත් ජයසූරිය පන්දුවට පහර දෙමින් සිටි අතර රූපවාහිනී තිරයේ ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ මෙලෙසිනි.
“ඕවර 26.2 යි. කිසිවකු නොදැවී 252 යි. - ජයග්‍රහණය සඳහා පන්දු 142 කින් ලකුණු 70 ක්”
එදා මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස කදිමට එහි නිරූපනය වී තිබිණ. එහෙත් වත්මන් ක්‍රිකට් නිලධාරීන්ගෙන් ඕනෑම අයකුගෙන් මේ ගැන ඇසුවහොත් ලැබෙන පිළිතුර තණකොළ කපන්නට කිතුල් ගහට ගිය අය දුන් පිළිතුර සිහිගන්වන්නක් බව නම් නිසැකය.
මේ අතර #unfollowcricketers නම් සම්බන්ධිතයක් නිර්මාණය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් ආරම්භ කර තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දහස් ගණනක් ක්‍රිකට් ලෝලීන් වත්මන් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්ගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ මුහුණු පොත්වල පිටු වර්ජනය කර තිබෙන බව ජනප්‍රිය වෙබ් අඩවියක සඳහන් කර ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්තාවක දැක්වේ.
“මේ ව්‍යාපාරයේ අරමුණ වන්නේ අසාර්ථක ක්‍රීඩකයන් ක්‍රිකට් ලෝලීන්, තම තමන්ගේ මුහුණු පොත්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වලින් ඉවත් කිරීමයි” යයිද එම වෙබ් අඩවියේ සටහන් වී තිබිණ. ඒ සමගම ඔවුන් එකිනෙකාගෙන් ඉල්ලා සිටින්නේ ජාතික කණ්ඩායම සහභාගි වන තරග රූපවාහිනියෙන් නැරඹීමෙන් වළකින ලෙයසි.
“මෙ අසාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුදෙනාම ප්‍රතික්ෂේප කරන්න.. ජාතික කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෙන්වන්න බැරිනම්, ඔවුන්ට සමාජ මාධ්‍යවල අවධානයට ලක්වෙන්න දෙන්න එපා. ඔවුන්ට විශාල රසික පිරිසක් හිමිවිය යුතු නෑ” යයි අහමඩ් ඉනැමුල්හක් සිට ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.
මාධ්‍යවේදී මංජුල බස්නායක මහතා සිය මුහුණු පොතේ බරපතළ සටහනක් තබා තිබුණේ “96 විජයග්‍රහණයෙන් පසු මෙරට ක්‍රිකට් වලපල්ලට ගිය ගමන් මග” යනුවෙනි.
1996 දී ලෝක කුසලාන දිනාගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වූ ආනා පුංචිහේවා මහතාව, ඊළඟ නිලවරණයේදී කුමන්ත්‍රණකාරී ලෙසින් එක ඡන්දයකින් පරාජය කළ ආකාරයත් ඉන් අනතුරුව ක්‍රිකට් නිධානයේ රස බැලීමට විවිධ අතුරු කමිටු පත්කළ ආකාරයත් බස්නායක මහතා විස්තර කරයි. වත්මන් ක්‍රිකට් පරිහානියට හිටපු අතුරු කමිටු සභාපතිවරුන් සියලු දෙනාම වගකිවයුතු නැති නමුත් වරින් වර ඔවුන් ඉවත් කරමින් මෙන්ම නුසුදුස්සන්ව පත්කළ ක්‍රීඩා ඇමතිවරුන් මෙන්ම දේශපාලනඥයන් සියලු දෙනාම මේ විනාශයට වගකිව යුතු බවද බස්නායක මහතා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩයමේ හිටපු පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා දරන්නේ තරමක් වෙනස් මතයකි.
“ඊයේ රාත්‍රියේ තරගය නම් බලන්නත් දුකයි. ඒත් ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට සහ කළමණාකාරීත්වයට දෝෂාරෝපණය කරලා වැඩක් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්‍ෂණය දෙස අපි වහාම නැඹුරු විය යුතුයි. මේ වෙලාවේ පුහුණුකරුවන් වැඩට බැසීම ඉතාමත් අවශ්‍යයයි” යයි තිලකරත්න මහතා පවසා තිබිණ.
“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හරිම කණගාටුදායක දවසක්. තත්ත්වය අතිශය භයංකාරයි. ක්‍රිකට් ක්‍රීඩාව බේරාගන්න අපි ඉතාම ඉක්මනින් මොනවා හෝ කළ යුතුයි” යයි හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.
මේ අතර එංගලන්ත - ඕස්ට්‍රේලියානු තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ‘අළු බඳුන’ සිහිගන්වමින් මුහුණු පොතේ පලකර තිබූ සොහොන් කොතක ඡායාරූපයක්ද විය. එහි උපත ලෙසින් 1975 ජූනි මස 07 වැනිදා (ශ්‍රී ලංකාවේ පළමු එක්දින අන්තර්ජාතික තරගය - එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී) විපත ලෙසින් 2021 ජූනි 26 වැනිදා (ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වැනි වි-20 තරගය - සදම්ප්ටන් නුවරදී) සටහන් වී තිබිණ. එම සටහන් දෙකට මැදින් යොදා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලාංඡනයයි.
දැනට අවසන් වී ඇත්තේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියේ විස්සයි-20 තරගමාලාව පමණි. එහෙත් අවසානය මෙය නොවේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය හෙට (29 වැනිදා) ආරම්භ වෙයි. එක්දින අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටින නමුත් එංගලන්තයේ සිටින්නේ 4 වැනි ස්ථානයේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ක්‍රියාකාරකම් කෙරෙහිද ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය එල්ල වී තිබේ. පුහුණුකරුවන් ලෙසින් සිටින මිකී ආතර් (දකුණු අප්‍රිකානු ජාතිකයෙකි) මහතාට සහ ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා ලෙසින් කටයුතු කරන ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතාට ගෙවනු ලබන අති විශාල මුදල් සම්භාරය පිළිබඳවද ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි විවේචන එල්ල වී තිබේ. එංගලන්ත සංචාරයේදී ඔවුන් දෙදෙනාගේ දෛනික දීමනාව ඩොලර් 1800 ක් බව කියැවේ.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය සේවකයකු මෙන්ම හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ද වූ මහින්ද දේශප්‍රිය මහතා ද ක්‍රිකට් ක්‍රීඩාව හා ගැඹුරු සම්බන්ධතා ඇති අයෙකි. ඔහු කලක් දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙසින්ද කටයුතු කළ අතර කොතෙක් කාර්යබහුලව සිටියද ක්‍රිකට් ක්‍රීඩාව අමතක නොකරන අයෙකි.
සෙනසුරාදා තරගයෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන මෙවැන්නකි
“මේ අතපය වලංගු නැති ළදරු ටීම් එක කවදාවත් ක්‍රිකට් එපා නොවන අපටත් ක්‍රිකට් එපා කෙරෙව්වා අද”
de silva Monday, 28 June 2021 11:37 AM
ක්‍රිකට් ක්‍රීඩකයිනුත් රජයේ සේවකයන් වගේ... වැඩි පඩි අරන් මුකුත් නොකර අමතර ගාණක් හොයාගෙන ජීවත් වෙන්න බලන්න.
Reply 0 0
Anura jayavardana Monday, 28 June 2021 04:10 PM
මේ අයට පුළුවන් ලීයක් අරගෙන බනින්න විතරයි. මම හිතන විදිහට ඒකවත් පුළුවන්ද දන්නේ නෑ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.