Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී

කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී

Nisanka Sandeepani - 2018 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත ලකුණු සංඛ්‍යාව 285 දක්වා ඉහළ දැමීය.

එංගලන්ත පිලේ කඩුලු 9 ක් ලකුණු 225 කට බිඳ වැටී තිබුණද අවසන් පිතිකරුවා වූ ජේම්ස් ඇන්ඩසන් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දුන් සෑම් කරන් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

තරගයේ පළමු දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය.

එංගලන්ත කණ්ඩායම අවසන් වරට ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ පහේදීම තීරණාත්මක මෙහෙවරක් කළ මෙම වමත් පිතිකරුවා විනාඩි 144 ක් පිටියේ රැඳුණ නමුත් ඔහු සිය ප්‍රහාරය ආරම්භ කළේ අවසන් පිතිකරුවා වූ ඇන්ඩසන් පිටියට පිවිසීමෙන් පසුවය.

ඇන්ඩසන් හා එක්වන විට ලකුණු 16 ක් පමණක් ලබා සිටි සෑම් කරන් ඉනිමේ අවසන් විනාඩි 57 ඇතුළත ලකුණු 48 ක් ලබාගත්තේ සිය ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහරක් ඇතුළත් කරමිනි. ලකුණු 53 ක් ලබා සිටියදී සෑම් කරන් දුන් ඉතාම පහසු උඩපන්දුවක් ලෝන්ග් ඕන් හි සිටි මාලින්ද පුෂ්පකුමාර වෙතින් ගිළිහී ගිය නමුත් ඒ වන විටත් ලකුණු 272 ක් එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් වී තිබිණ.

තරගයේ පාලනය ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේ සෑම් කරන්ගේ ප්‍රහාරයෙන් අන්ද මන්ද වී පන්දු රකින්නන් පිටිය පුරා විසුරුවා ලීමෙනි. ඕවරයේ අවසන් පන්දුවට පහසුවෙන්ම එක ලකුණක් ලබාගනිමින් අනෙක් අන්තයේ සිටි ඇන්ඩසන් ආරක්‍ෂා කරගැනීමට සෑම් කරන්ට ඕනෑ තරම් අවස්ථාව තිබිණ.

තේ පානයට පෙර කඩුලු 7 ක් දැවී ගොස් තිබුණ නමුත් හොඳම ආරක්‍ෂාව ආක්‍රමණය යයි අදහන බැවින්දෝ පසුපාදයට නොගිය එංගලන්ත පිතිකරුවෝ ලකුණු හඹා යන්නට වූහ. ස්වීප් පහර මෙන්ම රිවර්ස් ස්වීප් පහරත් මනාව උපයෝගී කරගත් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආක්‍රමණශීලී පිතිහරඹයකට වන් ජොස් බට්ලර් ලකුණු 63 ක් ලබාගත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමිනි. හතරේ පහර 7 ක්ද ඇතුළත් කරමින් ලකුණු 63 ක් ලබාගත් ජොස් බට්ලර් තරමක කරදරකාරයකු වූවත් ඔහුට කඩුලු අතර සම්බන්ධතා ගොඩනංවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

පළමු කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා සම්බන්ධතා සටහන් වූයේ 07, 37, 21, 24, 45, 31, 06, 45 ක් සහ 09 ක් වශයෙනි. එයින් පස්වැනි කඩුල්ලේ ලකුණු 45 ක සම්බන්ධතාව ජොස් බට්ලර් සහ මොයින් අලි අතර විය. එහෙත් තරගයේ වාසිය එංගලන්තයට අත්කර දුන්නේ අවසන් කඩුල්ල වෙනුවෙන් සෑම් කරන් සහ ඇන්ඩසන් එක්ව ගොඩනැංවූ ලකුණු 60 සම්බන්ධතාවයි.

රංගන හේරත්ගේ ස්ථානය අත්පත් කරගත් මාලින්ද පුෂ්පකුමාර, දිවා ආහාරයෙන් පෙර සහ පසුව, එක දිගට ඕවර 22 ක් යවමින් කඩුලු 3 ක් දවාගත්තේය. ඩිල්රුවන් පෙරේරා සුපුරුදු තැන්පත් ලීලාවෙන් පන්දු යවමින් කඩුලු 4 ක් දවාගත්තේ සෑම් කරන්ගේ ඉනිමත් ලකුණු 64 කට සීමා කරමිනි.

අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විතීවි ක්‍රමවේදය භාවිතා කළේ බුද්ධිමත් ආකාරයෙනි. ඉනිම පුරාම ශ්‍රී ලංකාව සතු විතීවි අවස්ථා දෙකම ඉතිරි වී තිබුණ නමුත් විතීවි සහයෝගය උපයෝගී කරගනිමින් කඩුලු දෙකක්ද දවාගැනීමටද ශ්‍රී ලංකා පිලට හැකිවිය.

බෙන් ස්ටෝක්ස් ලකුණු 10 ක් ලබා සිටියදී පා ආවරණයෙන් කඩුල්ල මුවා කිරීමට එරෙහිව ඩිල්රුවන් කළ ඉල්ලීම සුන්දරම් රවී විනිසුරුවරයාගේ තීරණයක් නිසා ඉවත ගියේය. ස්ටෝක්ස් ලකුණු 19 ක් ලබා සිටියදීත් ඩිල්රුවන් කළ ඉල්ලීම විනිසුරු රවී මහතා විසින් නිෂ්ප්‍රභා කරන ලදි. එහෙත් විතීවි ක්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ස්ටෝක්ස්ගේ ඉනිම එතැනින් නිමා කළහ.

ගාල්ලේදී තරග කළ ක්‍රීඩකයන් 11 දෙනාම මෙම තරගයටත් යොදාගැනීමට එංගලන්ත කණ්ඩායම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකකි. ටෙස්ට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට කැඳවා තිබේ. ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවූ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට රෙෂේන් සිල්වා කණ්ඩායමට පැමිණ ඇත.

‘තණතීරුව’ යයි කීවද එහි තණකොළ ගහක්වත් පෙනෙන්ට නැත. සියල්ලම කපා දමා තිබේ. සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැය ගත් තණතීරුවේ පිට ඉන්න එල්ලයේ සියුම් පිපිරීම් දක්නට තිබේ. තරගය දිගහැරීමේදී මෙම පිපිරුම් තවත් පුළුල් විය හැකි බැවින් දෙපිලේම දඟ පන්ද යවන්නෝ සිනා සෙමින් එදෙස බලා සිටියහ.

කෙසේ වෙතත් පළමු ඉනිම දෙපිලටම බෙහෙවින් තීරණාත්මක වනු ඇත. දෙවැනි ඉනිම දෙකේදීම පිතිකරුවන් අමාරුවේ වැටීම වැළැක්විය නොහේ.

1   6

00   YU

 

ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ එෆ් පී අනුග්‍රහයෙනි)


අදහස් (0)

කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.