Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කරට කර සටනේ ජය ඉන්දියාවටද එංගලන්තයටද
විස්සයි-20 ලෝක කුසලාන

කරට කර සටනේ ජය ඉන්දියාවටද එංගලන්තයටද

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අවස්ථා දෙකදී බැගින් විස්සයි-20 ලෝක ශූරයන් බවටත්, එක් අවස්ථාවකදී බැගින් අනු ශූරයන් බවටත් පත්ව සිටින එංගලන්තය සහ ඉන්දියාව අනිද්දා (5 වැනිදා) මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙවර (2026) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 

සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ගනිමින් එංගලන්තය මෙවර අවසන් පූර්ව වටයට පිවිසි අතර ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසියේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි. මෙවර තරගාවලිය තුළ තරග 7 කට බැගින් ක්‍රීඩා කර ඇති මෙම කණ්ඩායම් දෙක එහිදී පරාජයට පත්ව ඇත්තේද එක් තරගය බැගින් පමණි. 

මූලික වටයේදී ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණු එංගලන්තය එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. කෙසේ වුවත් මූලික වටයේ සෙසු තරගවලදී ස්කොට්ලන්තය, ඉතාලිය සහ නේපාලයද පරාජය කළ එංගලන්තය, සුපිරි 8 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පාකිස්ථානය පරාජය කිරීමට සමත් විය. 

‘ඒ’ කාණ්ඩය යටතේ මෙවර තරගාවලියට එක්වූ ඉන්දියාව මූලික වටයේදී පාකිස්තානය, ඇමරිකාව, නෙදර්ලන්තය සහ නැමීබියාව පරාජය කළ අතර අතර සුපිරි 8 දෙනාගේ වටයේදී සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය. එහිදී ඔවුන් පරාජයට පත්වූයේ දකුණු අපිකාව හමුවේ පමණි. 

එංගලන්තය මෙන්ම ඉන්දියාවද විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ඇති 6 වැනි අවස්ථාව මෙය වන අතර දෙපිලම ඉන් අවස්ථා 3 කදී බැගින් අවසන් මහ තරගයට පිවිසීමට අවස්ථාව උදාකර ගෙන ඇත. ඉන් 2010 සහ 2022 වසරවලදී ශූරතාව දිනා ඇති එංගලන්තය, 2016 වසරේදී අනු ශූරයන් බවට පත්ව ඇති අතර 2007 සහ 2024 වසරවලදී ශූරතාව දිනා ඇති ඉන්දියාව, 2014 වසරේදී අනු ශූරයන් බවට පත්ව ඇත. 

මේ දක්වා මෙම කණ්ඩායම් දෙක අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් 19 ක ජය ඉන්දියාවටත්, 12 ක ජය එංගලන්තයටත් හිමිව තිබේ. එම තරග 29 න් 5 ක් විස්සයි-20 ලෝක කුසලාන තරග වන අතර ඉන් තරග 3 ක් (2007, 2012 සහ 2024 වසරවලදී) ජයගැනීමට ඉන්දියාවත්, තරග 2 ක් (2009 සහ 2022 වසරවලදී) ජය ගැනීමට එංගලන්තයත් සමත්ව තිබේ. 

එම ලෝක කුසලාන තරග අතරින් තරග 2 ක් අවසන් පූර්ව තරගය වන අතර 2022 වසරේදී කඩුලු 10 ක් ඉන්දියාව පරදමින් එංගලන්තයත්, 2024 වසරේදී ලකුණු 64 කින් එංගලන්තය පරදමින් ඉන්දියාවත් අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා ඇත. එබැවින් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර කරට කර සටනක් බලාපොරොත්තු විය හැකිය. 

කෙසේ වුවත් ඉන්දියාව සිය මව්බිමේදීම පරාජය කිරීම එංගලන්තයට පමණක් නොව ඕනෑම කණ්ඩායමකට ඉතා අසිරු අභියෝගයක් වනු ඇත. ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු පුරුදු තණතිලිවල තරග පැවැත්වමත්, ක්‍රීඩාංගණ පිරී ඉතිරී ගිය ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබන සහයෝගයත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතර මෙම කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සිටිති. වැඩිම ලකුණු ලාභීන් අතර 5 වැනි ස්ථනයේ පසුවන ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තරග 7 කදී අර්ධ ශතකයක් ලකුණු 231 ක් ලබා සිටින අතර එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවන ඉෂාන් කිෂන් තරග 7 කදී ලකුණු 224 ක් ලබා සිටින්නේ අර්ධ ශතක 2 ක් සමගිනි. එහි 7 වැනි ස්ථානයේ පසුවන එංගලන්ත නායක හැරී බෲක් තරග 7 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 228 කි. 

එබැවින් මෙම තරගයේදී කල් වේලා ඇතිව යාදව්ගේ සහ කිෂන්ගේ කඩුලු දවාගැනීම සඳහා එංගලන්ත පන්දු යවන්නන්ද, බෲක්ගේ කඩුල්ල දවාගැනීම සඳහා ඉන්දීය පන්දු යවන්නන්ද විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශ දෙස බැලීමේදී ඉන්දියාවේ වරුණ් චක්‍රවර්ති කඩුලු 12 ක්ද, එංගලන්තයේ ආදිල් රෂීඩ් කඩුලු 11 ක්ද, ලයෑම් ඩේව්සන් කඩුලු 10 ක්ද දවාගිනිමින් පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර 4 වැනි, 7 වැනි සහ 10 වැනි ස්ථානවල රැදී සිටිති. 


එංගලන්ත සංචිතය 
හැරී බෲක් (නායක), පිලිප් සෝල්ට්, ජොස් බට්ලර්, ජෙකෝබ් බෙතෙල්, ටොම් බැන්ටන්, ලයෑම් ඩේව්සන්, විල් ජැක්ස්, සෑම් කරන්, බෙන් ඩුකට්, රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ජෙමී ඕවර්ටන්, ආදිල් රෂීඩ්, ජෙෂ් ටන් සහ ලුක් වුඩ් 

ඉන්දීය සංචිතය 
සූර්යකුමාර් යාදව් (නායක), සංජු සැම්සන්, අභිෂේක් ශර්මා, ඉෂාන් කිෂන්, තිලක් වර්මා, හර්දීක් පාණ්ඩ්‍යා, ශිවම් ඩූබේ, අක්සර් පටේල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රීට් බුම්රා, වරුණ් චක්‍රවර්ති, කුල්දීප් යාදව්, අර්ෂ්දීප් සිං, රිංකු සිං සහ මොහොමඩ් සිරාජ් 

 


අදහස් (0)

කරට කර සටනේ ජය ඉන්දියාවටද එංගලන්තයටද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.