Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානු නායකත්වය පැට් කමින්ස්ට
ක්‍රිකට්

ඕස්ටේ‍්‍රලියානු නායකත්වය පැට් කමින්ස්ට

editorial - 2021 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ 47 වැනි නායකයා වශයෙන් වේග පන්දු යවන කී‍්‍රඩක පැට් කමින්ස් නම්කර තිබේ.  ඕස්ටේ‍්‍රලියානු නායකයාව සිටි ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, ඉදිරියේ එන අළු බඳුන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීමේ වගකීම පැට් කමින්ස්ට පැවරී තිබේ.

සාමාන්‍ය වශයෙන් ගත්කල,  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමක නායකත්වය හිමිවන්නේ පිතිකරුවකුට වුවද වසර 70 කට පමණ පසුව වේග පන්දු යවන්නකුට ජාතික කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබේ.  ඕස්ටේ‍්‍රලියානු නායකත්වය හිමිවූ දෙවැනි වේග පන්දු යවන්නා පැට් කමින්ස්ය. ඔහුට පෙර  ඕස්ටේ‍්‍රලියානු නායකත්වය දැරූ එකම වේග පන්දු යවන්නා වූයේ 1950 දශකයේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක් සඳහා  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවූ රේ ලින්ඞ්වෝල්ය.

අළු බඳුන තරගාවලියේදී, හිටපු නායක ස්ටීව් ස්මිත්ගේ සහය පැට් කමින්ස්ට ලැබෙනු ඇත.

”පන්දු යවන්නෙක් නායකයා වීම සම්බන්ධයෙන් නොදන්නා දේවල් කිහිපයක් තිබෙනවා. ඒ නිසා තමයි, යම් හෙයකින් මා නායකත්වයට පත්වෙනවා නම්, මගේ උපනායකයා වශයෙන් ස්ටීව් (ස්මිත්) වැනි කෙනෙක් පත්විය යුතු බව මම මුල ඉඳලාම කිව්වේ” යයි මේ වන විට ගෝල්ඩ් කෝස්ට් නුවරදී පුහුණුවීම් කරමින් සිටින පැට් කමින්ස් වාර්තාකරුවන්ට පැවසීය.

ස්ටීව් ස්මිත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු නායකයා වුවද වසර 2018 දී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හිදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට වරදකරු වූ හෙයින් වසරක තහනමකට ලක්ව, සිය නායකත්වයද අහිමි කරගත්තේය. එයින් පසුව  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වයට පත්වූ ටිම් පේන්ගේ උප නායකයා වූයේ පැට් කමින්ස්ය.

පැට් කමින්ස් නිතර කතාබහට ලක්වන කී‍්‍රඩකයකු නොවේ.

වසර 10 කට පමණ ඉහතදී, එවකට 18 හැවිරිදි වේග පන්දු යවන්නකු වූ කමින්ස්, දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලූ 7 ක් දවාගනිමින් දකුණු අපි‍්‍රකානුවන් පරාජය කිරීමට අගනා මෙහෙවරක් කළේය. විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් සිය දෙවැනි ටෙස්ට් තරගය කී‍්‍රඩා කිරීමට එතැන් සිට වසර 6 ක් බලා සිටි කමින්ස්, මේ වන විට ලෝකයේ ශ්‍රේණිගත අංක 1 හිමි වේග පන්දු යවන්නාය.

කමින්ස් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැරණි කී‍්‍රඩකයෝ මෙන්ම කි‍්‍රකට් විශාරදයෝත්  ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව පසසති. එහෙත් ස්ටීව් ස්මිත්ට දුන් උසස්වීම සම්බන්ධයෙන් නම් ඇතැමුන්ගේ ප‍්‍රසාදයක් නැත.
 
”වැලි කඩදාසි වංචාව” නිසා ස්මිත්ට පැනවූ මාස 12 ක අන්තර්ජාතික තරග තහනම මෙන්ම වසර දෙකක නායකත්ව තහනම අවසන් වූයේ පසුගිය වසරේදීය. ස්මිත්ගේ උසස්වීම සම්බන්ධයෙන් ෂේන් වෝන් ප‍්‍රසිද්ධියේම පරළ වී සිටී.

”අපි අළු බඳුන තරගාවලියට යන්න  ඕනේ පැහැදිළි තලයක ඉඳගෙනයි. පරණ තුවාල පාරගන්න මේක වෙලාව නෙමේ” යයි වෝන් පුවත් පතකට ලියා තිබිණ.
කෙසේ වෙතත් ස්ටීව් ස්මිත් ද තත්ත්වයට මුහුණ දීමට සූදානම්ය.

”මාත් පසුගිය අවුරුදු තුන හතරක කාලයේදී බොහෝ දේවල් ඉගෙන ගත්තා. මා දැන් බොහෝ දේවල් දරාගන්නා කෙනෙක්. මා හිතන්නේ ඒ සිදුවීම මාව වඩාත් හොඳ නායකයෙක් කළා” යයි කමින්ස්ගේ පසෙකින් සිට ස්ටීව් ස්මිත් පැවසීය.

කමින්ස් සහ ස්මිත් දෙදෙනාගේ පළමු කාර්යය වන්නේ දෙසැම්බර් මස 8 වැනිදා ආරම්භ වන පළමු අළු බඳුන ටෙස්ට් තරගය සඳහා සුදුසු කඩුලූ රකින්නකු සොයාගැනීමයි.

අළු බඳුන තරගාවලිය අත පොවන මානයේ තිබියදී  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් නායකයා මෙන්ම කඩුලූ රකින්නා ද වූ ටිම් පේන් පසුගිය සිකුරාදා (19 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. වසර කිහිපයකට ඉහතදී, සිය මිතුරියක සමගින් හුවමාරු කරගත් කෙටි පණිවිඩයක ලිංගිකත්වය දැක්වෙන සටහන් තිබීම ඔහුගේ ඉල්ලා අස්වීමට පසුබිම වී තිබේ.

” ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වයෙන් මා ඉල්ලා අස්වන බව මම අද නිවේදනය කරනවා” යයි කඳුලූ පිරි දෙනෙතින් කියූ ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස්වූයේය.

වසර කිහිපයකට ඉහතදී සිය මිතුරියක සමගින් හුවමාරු කරගත් කෙටි පණිවිඩ කිහිපයක තිබූ අසභ්‍ය තොරතුරු හෙළිදරව් වීමත් සමගම ටිම් පේන් මෙම තීරණය ගෙන තිබේ. මෙම කෙටි පණිවිඩවලින් කොටසක්  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබ ඇත.

”අවුරුදු හතරකට විතර ඉස්සර, ඒ කාලේ මගේ මිතුරියක සමගින් මා කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. ඇයත් මාත් අතර පුද්ගලිකව හුවමාරු වූ ඒ පණිවිඩ දැන් හෙළිදරව් වී තිබෙනවා. ඒ පණිවිඩ 2017 තරම් ඇතකදී හුවමාරු වූවත්, ඒවා  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයකු විසින් මෙන්ම සමාජයේ වගකීමක් ඇති අයකු විසින් නොකළ යුතු දේවල් යයි මා හිතනවා” යයි ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙමින් පැවසීය.

නායකත්වයෙන් ඉල්ලා අස්වූ ටිම් පේන් ”මානසික විවේකයක් අවශ්‍යයි” කියමින් සියලූම ආකාරයේ කි‍්‍රකට් තරග වලින් පැත්තකට වී සිටී. පේන්ගේ කි‍්‍රකට් අනාගතය අවිනිශ්චිත අඩියක තිබේ.

- 213


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු නායකත්වය පැට් කමින්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.