Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති

editorial - 2023 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි පරාජයත් උරුම කරදුන් ඕස්ට්‍රේලියාව, ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 35.2 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග‍ නොදැවී ලකුණු 31 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුෂංක නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 9 ක් යවමින් ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත්තද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

ලකුණු 24 කට මුල් පෙළ කඩුලු 2 ක් බිඳ වැටෙද්දී සාර්ථක පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් පන්දු 51 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. කෙසේ වුවත් චාමික කරුණාරත්නගේ පන්දු යොමු කිරීමත්, කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීමත් හමුවේ මාෂ් දුවද්දී දැවී යෑමකට හසු‍වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 80 කට කඩුලු 3 ක් බවට පත් විය.

ඕස්ටේලියානු ඉනිමේ නැංගුරම බවට පත්වූ මානස් ලැබුෂේන් පන්දු 60 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. මාෂ් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 56 ක් එක්කළ ලැබුෂේන්, ඉන් නොනැවතී ජොෂ් ඉංග්ලිෂ් (58) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ මහීෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 59 කට මුහුණදී සිටි ඉංග්ලිෂ් හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර මෙම තරගයේදී දැඩි පහර කෑමට ලක්වූ අතර ඔහු යැවූ ඕවර 4 තුළ ලකුණු 47 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමු‍වේ ඕවර 43.3 ක් අවසානයේ ලකුණු 209 කට සීමා විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යෑමෙන් පසුව  ලකුණු 52 ක් තුළ සෙසු කඩුලු 8 ම බිඳහෙළූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ, ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 125 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (61) සහ කුසල් පෙරේරා (78) ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ‍පන්දු 67 කට මුහුණදුන් පැතුම් හතරේ පහර 8 කින් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 82 කට මුහුණදුන් කුසල් හතරේ පහර 12 සිය 16 වැනි එක්දින අර්ධ ශතකය අලංකාර කළේය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ පහර කෑමට ලක්වෙද්දී නියම නායකයකු ලෙස පෙරට පැමිණි පැට් කමින්ස්, පැතුම් සහ කුසල් පිටියෙන් ඉවත් කරමින් සිය අනුගාමිකයන්ට තරගයට අවතීර්ණ වීම සඳහා ඉඩ සලසා දුන්නේය. ඉන් අනතුරුව ක්‍රියාතමක වූ ඇඩම් සම්පා ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

පිට පිටම යැවූ පන්දු දෙකකදී නායක කුසල් මෙන්ඩිස් (9) සහ සදීර සමරවික්‍රම (8) දවාගත් සම්පා, වරෙක ලකුණු 157 කට කඩුලු 2 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවත් පන්දු 17 ක් ඇතුළත ලකුණු 166 කට කඩුලු 4 ක් බවට පත් කළේය. ඒ අනුව ඕවර 32.1 ක් අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක් ලබා සිටියේය.

වර්ෂාව නිමාවී යළිත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව යැවූ දෙවැනි පන්දුවේදීම ධනංජය ද සිල්වා (7) දැවී ගියේ පිත්තේ ඇතුළත දාරයේ වැදුණ මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් කඩුල්ල මත පතිත වීම හේතුවෙනි. ඉන් අනතුරුව නොතිබූ ලකුණක් සඳහා පැති මාරුකර ගැනීමට යෑමේදී පැට් කමින්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුනිත් වෙල්ලාලගේ දුවද්දී දැවී යෑමකට හසුවිය.

දසුන් ශානක වෙනුවෙන් කණ්ඩායමට කැඳවා සිටි චාමික කරුණාරත්න මෙන්ම මහීෂ් තීක්ෂණද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේ සම්පා‍ගේ තෙවැනි සහ සිවුවැනි ගොදුරු බවට පත්වෙමිනි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පැය එකහමාරකට ආසන්න කාලයක් කඩුල්ල රැකගෙන සිටි චරිත් අසලංක, පන්දු 39 කදී හයේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කරමින් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.  

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.වෝනර් ප.කමින්ස්        61
කුසල් පෙරේරා - ප.කමින්ස්                          78
කුසල් මෙන්ඩිස් - ඇ.වෝනර් ප.සම්පා             9
සදීර සමරවික්‍රම - ක.මු. කළා ප.සම්පා             8
චරිත් අසලංක - ඇ.ලැබුෂේන් ප.මැක්ස්වෙල් 25
ධනංජය ද සිල්වා - ප.ස්ටාක්                            7
දුනිත් වෙල්ලාලගේ - දුවද්දී දැවී ගියා               2
චාමික කරුණාරත්න - ක.මු. කළා ප.සම්පා      2
මහීෂ් තීක්ෂණ - ‍ක.මු. කළා ප.සම්පා               0
ළහිරු කුමාර - ප.ස්ටාක්                                  4
දිල්ෂාන් මධුෂංක - නොදැවී                            0
අතිරේක                                                      13
එකතුව ඕවර 43.3 කදී සියලු දෙනා දැවී       209

කඩුලු වැටීම :
1-125(නිස්සංක), 2-157(පෙරේරා), 3-165(මෙන්ඩිස්), 4-166(සමරවික්‍රම), 5-178(සිල්වා), 6-184(වෙල්ලාලගේ), 7-196(කරුණාරත්න), 8-199(තීක්ෂණ), 9- 204(කුමාර), 10-209(අසලංක)

පන්දු යැවීම :
මිචෙල් ස්ටාක් 10-0-43-2, ජොෂ් හෙසල්වුඩ් 7-1-36-0, පැට් කමින්ස් 7-0-32-2, ග්ලේන් මැක්ස්වෙල් 9.3-0-36-1, ඇඩම් සම්පා 8-1-47-4, මාකස් ස්ටොයිනිස් 2-0-11-0

 

ඕස්ට්‍රේලියාව

‍‍මිචෙල් මාෂ් - දුවද්දී දැවී ගියා                        52
ඩේවිඩ් වෝනර් - ක.මු. කළා ප.මධුෂංක        11
ස්ටීවන් ස්මිත් - ක.මු. කළා ප.මධුෂංක             0
මානස් ලැබුෂේන් - ඇ.චාමික ප.මධුෂංක        40
ජොෂ් ඉංග්ලිෂ් - ඇ.තීක්ෂණ ප.වෙල්ලාලගේ 58
ග්ලේන් මැක්ස්වෙල් - නොදැවී                     31
මාකස් ස්ටොයිනිස් - නොදැවී                        20
අතිරේක                                                        3
එකතුව ඕවර 35.2 කදී කඩුලු 5 ක් දැවී         215
 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ්

කඩුලු වැටීම :
1-24(වෝනර්), 2-24(ස්මිත්), 3-81(මාෂ්), 4-158(ලැබුෂේන්), 5-192(ඉංග්ලිෂ්)

පන්දු යැවීම :
ළහිරු කුමාර 4-0-47-0, දිල්ෂාන් මධුෂංක 9-2-38-3, මහීෂ් තීක්ෂණ 7-0-49-0, දුනිත් වෙල්ලාලගේ 9.2-0-53-1, චාමික කරුණාරත්න 3-0-15-0, ධනංජය ද සිල්වා 3-0-13-0


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.