Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ තරගාවලිය දිනති
3 වැනි විස්සයි-20 තරගය

ඕස්ට්‍රේලියානුවෝ තරගාවලිය දිනති

editorial - 2022 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පහසු ඉලක්කයක් කරා ගිය නමුත් කලබල නොවූ ඕස්ට්‍රේලියානුවෝ කැන්බරා නුවරදී අද (15 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදීත් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 122 ක ඉලක්කයක් කරා ගිය සත්කාරකයෝ පන්දු 101 කින් තරගය ජයගත්තේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයත් මිට මොළවා ගනිමිනි.

සිය පළමු ඕවරය ලකුණු 6 කට සීමාකරගත් නමුත් දෙවැනි ඕවරයේ පළමු පන්දුව යැවූ නුවන් තුෂාර ඇලපතේ මස්පිඬුවක් ඇදීම නිසා ආපසු ක්‍රීඩාගාරයට ගියේය. චාමික කරුණාරත්න එම ඕවරය සම්පූර්ණ කළද මහීෂ් තීක්‍ෂණ බලාපොරොත්තු වූ සහයෝගය සෙසු පන්දු යවන්නන් වෙතින් නොලැබුණේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඊට අවකාශ නොතැබූ බැවිනි.

කිසිවකු අපේක්‍ෂා නොකළ පරිද්දෙන් ඇෂ්ටන් ආගර්ට උසස්වීමක් දුන් ඕස්ට්‍රේලියානු නායකයා ඔහුව පිතිකරු ලයිස්තුවේ මුලින්ම එව්වේ කිසියම් අරමුණක් ඇතිවය. ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ඇෂටන් ආගර්ගේ ඉනිම මහීෂ් තීක්‍ෂණ විසින් පන්දු 13 කට සීමාකරන ලද නමුත් ඒ වන විට ඕස්ට්‍රේලියානු නායකයා සිය අරමුණ ඉටුකරගෙන සිටියේය.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් පන්දු යවන්නකු ඉදිරියට දමා ඕවර 2 ක කාලයක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු නායකයා සිය ඉදිරිපෙළ පිතිකරුවකු ආරක්‍ෂා කරගෙන තිබිණ.

පන්දු 15 කින් ලකුණු 16 ක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල් එතැන් සිට දුම්මල වරම අතට ගනිමින් පන්දු 10 කින් තවත් ලකුණු 23 ක් ලබාගත් නමුත් දිගු පහරකට උත්සාහ කිරීමේදී කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දුන්නේය.

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් හීන්සීරුවේ තනි සහ ද්විත්ව ලකුණු සොරාගනිමින් සිටියද අවස්ථාව ලද සැණෙකින් පන්දුව හතරේ සීමාවට යැවීමට පසුබට නොවීය.

මේ අතරවාරයේදී උඩපන්දු කිහිපයක්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සරදම් කරමන් බිම වැටුණේ ඔවුන් ආධුනිකයන්ගේ තත්ත්වයට ඇද දමමිනි.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමතාර්ථයන් මනාව වටහා නොගැනීම හේතුවෙන් අමාරුවේ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය. කාසියේ වාසිය අහිමි වූ හෙයින් පළමුව පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

ලකුණු 40 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනකු දැවීයාම  ශ්‍රී ලංකා පිලට දැරිය නොහැකි පාඩුවක් විය.

ප්‍රහාරය සඳහා යොමුවන සෑම අවස්ථාවකදීම තමන්ව පාලනය කරගැනීමේ නොහැකියාව ශ්‍රී ලංකා පිතිකරුවන් දැවීයාමට මුල වූයේය. එවන් තත්ත්වයක් තිබියදී, තම ප්‍රහාරාත්මක වේගය මැනවින් කළමණාකරණය කරගත් දසුන් ශානක පන්දු 38 කින් ලබාගත් ලකුණු 39 නොවන්නට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 100 ටත් අඩුවන්නට තිබිණ.

ඕවර 2 කින් ලකුණු 17 ක් එක්කළ ධනුෂ්ක ගුණතිලක සහ නිස්සංක දෙදෙනාගේ සම්බන්ධතාව බිඳී ගියේ කේන් රිචඩ්සන්ගේ පළමු පන්දුවටම ස්කූප් පහරක් ගැසීමට ගුණතිලක ගත් උත්සාහය හේතුවෙනි. දැවී යාමට පෙර මුහුණ දුන් පන්දු 4 කදී ලකුණු 9 ක් ලබා සිටි ගුණතිලකට තමන්ගේ ප්‍රහාරාත්මක සිතිවිලි පාලනය කරගැනීමේ අසීරුතාවක් තිබූ බව පළමු තරග දෙකේදීත් මැනවින් පෙනෙන්නට තිබිණ.

චරිත් අසලංක දැවීගියේත් එපරිද්දෙනි. මුහුණ දුන් තුන්වැනි පන්දුවම පිටියේ සීමාවට ඉහළින් යවමින් ලකුණු 6 ක් ලබාගත් අසලංක, ඊළඟ පන්දුවට මුහුණ දුන්නේ අඳුරේ පැමිණෙන පන්දුවකට ඉව කරමින් පිත්ත වනන්නාක් මෙනි. ප්‍රතිඵලය වූයේ කඩුලු රකින්නාට පහසු උඩපන්දුවකි. කුසල් මෙන්ඩිස් දැවී ගියේ දෙලොවක් අතර සිටිමින් ගැසූ පහරක් හේතුවෙනි.

ඩැනියෙල් සෑම්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් පැතුම් නිස්සංකගේ ඉනිම නිමා වන විට ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබිණ. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීම නිරත වූ බව සැබෑවකි. එහෙත් ඊට පදනම වැටුණේ ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරිපෙළ කඩා වැටීම හේතුවෙනි.

නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් එක්ව, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඒ වෙනුවෙන් පන්දු 53 ක් වැය වී තිබිණ.  ඒ වනවිට ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටි තත්ත්වය අනුව පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගැනීමේ හැකියාවක් දකුණත් පිතිකරුවන් දෙදෙනාටම නොවීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනාම විස්සයි-20 ක්‍රීඩකයා වන වනිඳු හසරංගත් කෙරෝනා වයිරසයට ගොදුරු වීම හේතුවෙන් අද තරගයේදී ඔහුගේ සේවය ශ්‍රී ලංකා පිලට අහිමි විය. හසරංග වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේත්, අසාර්ථක මුල් පෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කුසල් මෙන්ඩිසුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූහ.


අදහස් (1)

ඕස්ට්‍රේලියානුවෝ තරගාවලිය දිනති
  • sarath perth Tuesday, 15 February 2022 07:15 PM

    තේරුමක් නැති වැරැදි කරුවන් ඉවත් කරන්න...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.