Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ප්‍රබලයෝ ආපසු එති

ඕස්ට්‍රේලියානු ප්‍රබලයෝ ආපසු එති

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන ඒරන් ෆින්ච් සහ ස්ටීව් ස්මිත් දෙදෙනාම සිය ආබාධ වලින් සුවය ලැබීම ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ අමන්දානන්දයට හේතුවක් වී තිබේ. මෙම ක්‍රීඩකයන් දෙදෙනාත් ඇතුළත් කරමින්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රබල කණ්ඩායමක් නම්කර තිබේ.

නායක ඒරන් ෆින්ච් සිය දණහිසේ ආබාධයෙන් සුවය ලබමින් පසුවන අතර ස්ටීවන් ස්මිත් වැළමිටේ ආබාධයකින් සුවය ලබා සිටී.

ඔවුන් දෙදෙනාද ඇතුළත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, මාකස් ස්ටොයිනිස්, ග්ලෙන් මැක්ස්වෙල්, සහ කේන් රිචඩ්සන් වැනි විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නම රැන්දූ ක්‍රීඩකයෝ එක්ව සිටිති.  තවමත් ඕස්ට්‍රේලියාවේ හිස්වැස්ම පැළඳ නැති කඩුලු රකින්නකු වන ජෝ ඉංග්ලිෂ් ද ඕස්ට්‍රේලියානු  සංචිතයට එක්කර තිබේ.

මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙන ‘විටැලිටි බ්ලාස්ට්’ විස්සයි-20 තරගාවලියේදී සාර්ථක දස්කම් පෙන්වා ඇති ඉංග්ලිෂ්ට ස්ථානය හිමිවී ඇත්තේ කොදෙව් සංචාරයේදී ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවූ ඇලෙක්ස් කේරි ඉවත් කරමිනි.

“ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් අප සතුව ඉන්නවා. ඔවුනොවුන්ට නියමිත කාර්යයන් සහ ඔවුන්ගේ පලපුරුද්දත් එක්ක බැලුවාම, ලෝකයේ හොඳම විස්සයි-20 කණ්ඩායම් එක්ක තරග වැදිලා සාර්ථක වෙන්න ඔවුන්ට පුළුවන්” යයි ඕස්ටේ්‍රලියානු තේරීම් කමිටුවේ සභාපති ජෝර්ජ් බේලි මහතා පැවසීය.

“ජොෂ් ටික කාලයක් තිස්සේ අපේ ඇහැ ඇදගෙනයි හිටියේ. ඒත් එංගලන්තයේ විටැලිටි බ්ලාස්ට් තරගාවලියේදී එයාගේ දස්කම් නිසා අපි එයාව ඇතුළට ගෙනාව. එයාගේ ආක්‍රමණශීලීත්වය වගේම පවතින තත්ත්වයට අනුගත වීමත් කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවේ නම්‍යශීලී බවට හොඳ තත්ත්වයක්. අනාගතයේදී අපිට එයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්” යයිද ජෝර්ජ් බේලි මහතා පැවසීය.

කණ්ඩායමේ තුන්වැනි දඟ පන්දු යවන්නා වශයෙන් මිචෙල් ස්වෙප්සන් නම්කර තිබේ. ඇඩම් සම්පා සහ ඇෂ්ටන් ආගර් අනෙක් දෙදෙනා වෙති. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වන බැවින්ද, එය අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි කොටසට පසුව පැවැත්වෙන බැවින්ද, මෙම තරගාවලියේදී දඟ පන්දු යවන්නනට වැඩි වගකීමක් පැවරෙනු ඇත.

කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් තිදෙන වන ඩෑන් ක්‍රිස්ටියන්, ඩැනියෙල් සෑම්ස් සහ නතාන් එලීස් තිදෙනාත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් ඩුබායි බලා පියාසර කරනු ඇත. ඔවුන් අතුරින් ඩෑන් ක්‍රිස්ටියන්, ඩැනියෙල් සෑම්ස් දෙදෙනා තුන් ඉරියව් ක්‍රීඩකයන් වන බැවින් ඕනෑම අවස්ථාවක් සඳහා ගලපාගැනීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු පිලට තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේදී ඕස්ට්‍රේලියාවට මෙතෙක් අහිමිව තිබෙන කුසලානය වන්නේද විස්සයි-20 ලෝක කුසලානයයි. 

ඕස්ට්‍රේලියානු විස්සයි-20 සංචිතය 

ඒරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හේසල්වුඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සම්පා සහ මිචෙල් ස්වෙප්සන්

සංචාරයේ අතිරේක ක්‍රීඩකයෝ

ඩෑන් ක්‍රිස්ටියන්, ඩැනියෙල් සෑම්ස් සහ නතාන් එලීස්

 

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ප්‍රබලයෝ ආපසු එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.