Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව ලකුණු 133 ක් ඉදිරියෙන්

ඕස්ට්‍රේලියාව ලකුණු 133 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තෙවැනි දිනය (6 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 479 ක් ලබා සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 6 ක් ඇතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 133 ක් ඉදිරියෙන් සිටියි.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ෂෝන් මාෂ් ලකුණු 98 ක්ද, මිචෙල් මාෂ් ලකුණු 63 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 104 කි. සිය හයවැනි ටෙස්ට් ශතකයට ලකුණු 2 ක් පසුපසින් සිටින ෂෝන් මාෂ්, සිය ඉනිම හතරේ පහර 10 කින් අලංකාර කළ අතර මිචෙල් මාෂ්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 286 ක් එක් කරගත් අතර එහිදී එංගලන්ත පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි. මේසන් ක්‍රේන් සහ මුයින් අලී, අද දිනයේදී බිඳ වැටුණ කඩුලු 2 ට හිමිකම් කීහ.

අද දිනයේදී සිය 6 වැනි ටෙස්ට් ශතකය ලබාගත් උස්මාන් කවාජා (171) ඊට හයේ පහරක් සහ හතරේ පහර 18 ක් අන්තර්ගත කළේය. එය බෙයාස්ට්‍රෝගේ දෙවැනි ඉහළතම ටෙස්ට් ඉනිම වූ අතර මේසන් ක්‍රේන්ගේ පන්දුවක් හමුවේ ජොනී බෙයාස්ට්‍රෝගේ ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා ඔහුට ද්විත්ව ශතකය කරා යෑමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

ඉකුත් වසරේ (2017) වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත් වූ නායක ස්ටීවන් ස්මිත් මේ වසරේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීත් හතරේ පහර 5 ක් සමග ලකුණු 83 ක් රැස්කළ අතර මුයින් අලීගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් දෙමින් දැවී යෑම නිසා එම ඉනිම ශතකයකින් නිමා කිරීමට ස්මිත්ට නොහැකි විය.


- 036
 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 133 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.