Last Update  :  2026-04-23 19:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් මේ සියල්ලම වෙනස් වෙන්න ඕනා

ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් මේ සියල්ලම වෙනස් වෙන්න ඕනා

editorial - 2026 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් වී අලුත් ආණ්ඩුවක් එන සෑම වතාවකම ක්‍රීඩා ඇමතිවරුන් කියන කතාවක් තිබේ. එනම් දස්කම් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ ඕනෑතරම් සිටින බවත් තමන්ගේ පාලන කාලය ආරම්භයේ සිට වසර 4 ක් හෝ 8 ක් අතරදී ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා බවත්ය.

ඇමතිවරුන් එසේ කියන නමුත් 1948 සිට 2026 දක්වාම ශ්‍රී ලංකාව දිනාගෙන ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකක් පමණි. එහෙත් ඔලිම්පික් පදක්කම් පිළිබඳ සෘජුවම වගකීමක් ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට දින දෙකක් තිබියදී, එහි හිටපු උප සභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ ඔලිම්පික් පදක්කමක් දිනාගන්නට නම් වර්තමානයේ පවතින සියලුම ක්‍රමවේද වෙනස් කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමෙන්, ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීමෙන් පමණක් නතර නොවී,  ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් වල යෙදෙමින් සිටියදීම ඔවුන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කරමින්, ලෝකයේ නවීනතම තාක්ෂණය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් කළ හැකි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන නිර්මාණය කළ යුතු බවත් අසංග සෙනෙවිරත්න මහතා කියයි.

අසංග සෙනෙවිරත්න මහතා මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටින තරග කරුවන් පස් දෙනාගෙන් අයෙකි. ඔහු 2018 සිට 2022 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු උප සභාපතිවරයකු ද වෙයි.

"හැම ක්‍රීඩා ඇමතිකෙකෙන්ම පත්වුණ ගමන් කියනවා, අපිට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා. අපි තව අවුරුදු 4 කින් නැතිනම් 8 කින් ඔලිම්පික් පදක්කමක් දිනනවා කියලා. ඒත් මගේ අත්දැකීම නම් මේවා නිකම් කතා විතරයි."

"මේ තියන තත්ත්වයෙන් නම්, අපි ජීවතුන් අතර ඉන්න තාක්කල්, ඒ කියන්නේ, තවත් අවුරුදු 50 කින් වත්, ඔලිම්පික් පදක්කමක් දිනන්න බෑ"

"ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් ඒ වෙනුවෙන් අපට මූලික සැලැස්මක් තියෙන්න ඕනා. ඔලිම්පික් පදක්කමක් දිනන්න ඉස්සෙල්ලා වෙන්න ඕන දේවල් තියෙනවා. ඒත් ඔලිම්පික් පදක්කමක් කරා යන්න පුළුවන් ළමයෙකුට සල්ලි ටිකක්, දීලා, ඇඳුම් පැළඳුම් දීලා, සපත්තු අරන් දීලා විතරක් මදි. ඒ ළමයා ජීවත් වෙන්නේ කොහොමද?, ඒ ළමයාගේ ජීවන තත්ත්වය මොකක්ද කියන එක ගැනත් හොයලා බලන්න ඕන.

ඒ ළමයාගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ නැතිව, එයාව ඔලිම්පික් පදක්කමක් කරා යවන්න අමාරුයි. මොකද, පවුලේ අය පාන් කෑල්ලක් කාලා, රොටියක් කාලා, කහට කෝප්පෙන් දවස ගෙවා ගන්නකොට අර ළමයට විතරක් හැම් බේකන් කන්න බෑනේ... අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. අපි ඒ ගැන හිතන්න ඕනේ." යයි අසංග සෙනෙවිරත්න මහතා කියයි.

මෙවර ඔලිම්පික් කමිටු නිලවරණයට ඉදිරිපත් වීමේ අරමුණ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ කළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් පිළිබඳව කළ විමසීමකදී අසංග සෙනෙවිරත්න මහතා එසේ පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩා සම්බන්ධයෙන් පුහුණුවීම පිළිබඳ ඇති ගැටළුව කෙරේද ඉහළ අවධානයක් යොමුකළ යුතු බවත් සෙනෙවිරත්න මහතා කියයි.

"පුහුණුකරුවන්, සමහර වෙලාවට, හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනත් දෙනවා,  නමුත් මේ ළමයින් ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූලික පුහුණුව ලැබුණාට, ඔවුන්ව එතනින් එහාට රැගෙන යන්න අපට විද්‍යාත්මක පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නෑ"

"සුදුසුකම් ලත් පුහුණුකරුවන් එක්ක, නවීන විද්‍යාව ඇසුරින් පුහුණුවීම් කෙරෙන පහසුකම් නැතිව පදක්කම් ගැන කතාකරලා වැඩක් නෑ."

"හරිම කළාතුරෙකින්, දුර්ලභ ක්‍රීඩක ක්‍රීඩිකාවක් කිහිප දෙනකුට, සුවිශේෂී දක්ෂතා තියෙනවා. එයාලා තනිවම පුහුණුවෙලා, සමහරවිට තමන්ගේම වියදමින් නැතිනම් අනුග්‍රාහකයන්ගේ ආධාරයෙන් රට රටවල ගිහිල්ලා, (ඔය සුසන්තිකා, යුපුන් අබේකෝන් වගේ අය) පදක්කම් දිනාගන්න අවස්ථා තියෙනවා. ඒ ගොල්ලන්ට තෑගි බෝගත් ගොඩක් ලැබෙනවා."

"ඒක එහෙම වුණත්, මෙන්න මේ දේ අපි තේරුම් ගන්න ඕනේ."

"වෘත්තීය මට්ටමේ ක්‍රීඩාව කියන්නේ එපාම කරපු දෙයක්. වෘත්තීය ක්‍රීඩකයෙක් නැත්නම් වෘත්තීය ක්‍රීඩිකාවක් වෙන්න හැමෝටම බෑ. මේක, (වෘත්තීය ක්‍රීඩකයකු වීම) ලෝකයේ ඉතාම අමාරු රැකියාවලින් එකක්. මොකද ශාරීරික වශයෙන් විතරක් නෙමේ මානසික වශයෙනුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරිම දරුණු විදිහට දුක් විඳීමෙන් තමයි වෘත්තීය ක්‍රීඩාවේදී ඉහළට යන්න පුළුවන් වෙන්නේ. වෘත්තීය මට්ටමේදී ලේසියෙන් ගැලවෙන්න බෑ." යයි කී සෙනෙවිරත්න මහතා...

"ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වුණත්, හදිසියේම ක්‍රීඩාව අතහැරලා යන්නේ මානසික බිඳවැටීම් නිසයි. අපි මේවායේ තියෙන මානසික බිඳවැටීම් ගැන හොයන්නේ නෑ. පදක්කමක් දිනුවාම තෑගි දීලා, සන්තෝස කරලා යවනවා."

"ඒත් මෙතන තියන ප්‍රශ්නය මේකයි."

"ආසියානු ක්‍රීඩා නැත්නම් පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා පදක්කමක් දිනුවාම එයාලට ලැබෙන විශාල තෑගි මල්ල හින්දා ඒ ගොල්ලන්ගේ ජීවන මට්ටම එක රැයකින් වෙනස් වෙනවා. සල්ලි හින්දා ජීවිතේ සුව පහසු වෙනවා. ඊට පස්සේ, ඔලිම්පික් පදක්කමක් කරා යන්න, අවශ්‍ය තරම් දුක් විඳින්න එයාලට උවමනාවක් නෑ"

"ඕක තමයි යථාර්ථය. හුඟාක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු පදක්කම්, නැත්නම් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනලා, ඊට පස්සේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ ඔන්න ඔය තත්ත්වය හින්දා තමයි. ඒත් ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනා. ඒ ළමයත් එක්ක ගිවිසුමකට එන්න ඕනේ. ඒත් අපේ දැනට තියෙන ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඒ සම්බන්ධව කිසි දෙයක් වෙන්නේ නෑ. " යයි ද පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියාමනය කරන ඒකකයක් තිබේද, නැතහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික වශයෙන් සහාය සැලසීමේ ක්‍රමවේදයක් තියේද යන්න කළ විමසීමේදී සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.

"මම නම් දන්න විදිහට කිසිම ආකාරයේ විද්‍යානුකූල පුහුණුවීමේ ක්‍රමවේදයක් අපට නෑ. වෛද්‍ය ලාල් ඒකනායක මහත්මයා, ඉහළ කාර්යසාධන ඒකකයක් හදන්න බොහෝම උත්සාහ කළා. ඒක පොඩියට තියෙනවා වුණත් මම නම් දන්න විදිහට වෛද්‍ය ලාල් ඒකනායකට ඊට පස්සේ කිසිම සහයෝගයක් ලැබුණේ නෑ"

"අපේ විශ්ව විද්‍යාල වල ඉතාම හොඳ විද්‍යාර්ථීන් ඉන්නවා. එයාලගෙන් අපට හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒත් අපි එයාලව හඳුනාගෙන, පළමුවෙන්ම එයාලව අපේ කණ්ඩායමට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ එයාලව පිටරට යවලා හරි නැතිනම් පිටරට අයව මෙහාට ගෙනන්ලා හරි ලෝකයේ පවතින නවීනතම තාක්ෂණය ක්‍රීඩාව වෙනුවෙන් භාවිතා කරන්නත්, අපේ ළමයින්ව පුහුණුකරවන්නත් එයාලගේ සේවය ගන්න පුළුවන්."

"ඇත්තම කියනවා නම් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයක් අපි තවමත් හරියට ස්ථාපිත කරලා නෑ. ලෝකයේ ඉහළම තාක්ෂණය භාවිතා කෙරෙන ව්‍යායාම ශාලාවක් හෝ ජල ප්‍රතිකාර භාවිතා කෙරෙන මධ්‍යස්ථානයක් අපට තවමත් නෑ. " යයි ද අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම සාමාජිකයන් එක්ව කටයුතු කළ යුතු නමුත් එය එසේ නොවන බවද සෙනෙවිරත්න මහතා කීවේය.

"ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැත්තටම නැතිවෙලා ඉවරයි. පහළටම වැටිලා ඉවරයි."

"අනෙක් කාරණය තමයි මේ තියන සියලුම සම්මේලනවලට මූල්‍යමය සහාය අවශ්‍යයි. නිකම් සහයෝගය නෙමෙයි, බරපතළ වශයෙන් ඔවුන්ට බරපතල මූල්‍යමය ආධාර අවශ්‍යයි.  පළමුව, ඔවුන්ගේ යටිතල පහසුකම් ගොඩනැගීම. දෙවනුව, එයාලගේ ඉහළ කාර්යසාධනයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය කිරීම හා ඒ වගේම දුර බැහැර පළාත්වල ඒ ඒ ක්‍රීඩා සංවර්ධනය කිරීම. මේ සේරම ඉතාම ඉක්මනින් කළ යුතු දේවල්" යයි ද හෙතෙම පැවසීය.

ඒෂියා සිකියුරිටීස් සහ ඒෂියා කැපිටල්ස් යන සමාගම් සමග සම්බන්ධ වෙමින්, අවුරුදු 40 කට වැඩි කාලයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ගනුදෙනු කළ අසංග සෙනෙවිරත්න මහතා වසර 21 ක කාලයක් ඒෂියා සිකියුරිටීස් සමාගම් ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද කටයුතු කළ, සාර්ථක පරිපාලන නිලධාරියෙකි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින්, ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ අසංග සෙනෙවිරත්න‍, 80 දශකයේ මැද භාගයේදී සිට 90 දශකය අග භාගය දක්වාම පළමු ශ්‍රේණියේ තරග සඳහා කොළඹ සී.සී.සී. පිල නියෝජනය කළේය. රග්බි ක්‍රීඩකයකු වශයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. පිලට ක්‍රීඩා කරමින් පසුව එහි නායකත්වය ද දැරූ අසංග, ජාතික රග්බි කණ්ඩායම ද නියෝජනය කළේය. පසුව සී.ආර්. කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩයම් වලත් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර ඇති අසංග සෙනෙවිරත්න මහතා වසර 2011 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ උප සභාපතිවරයකු වශයෙන් ද 2018 සිට 2022 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වශයෙන් ද කටයුතු කළේය.


අදහස් (0)

ඔලිම්පික් පදක්කමක් දිනන්න නම් මේ සියල්ලම වෙනස් වෙන්න ඕනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.