Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල්. කොට උඩ ?

එල්.පී.එල්. කොට උඩ ?

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

තරගාවලිය මේ මස 30 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය අවමවීම එය කල්දැමීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි දැන ගන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

“තරඟාවලිය කල් දැමීමට සිදුවීම අවාසනාවක්. බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය හෝ එංගලන්ත ක්‍රීඩකයින් කිසිවෙකු තරගාවලිය පැවැත්වෙන කාල වකවානුවේදී ගෙන්වා ගැනීමට නොහැකිවී ඇත. තරගාවලිය නැවත පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නොමැති අතර, ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය පැවැත්වීමට සුදුසු කාළයක් පිළිබඳව සොයා බලනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

විදෙස් ක්‍රීඩකයන් නොපැමිණීම තරගාවලිය කල් දැමීමට එකම හේතුව නොවන බවත්, කණ්ඩායම් හිමිකරුවන් සමඟ නිරන්තරයෙන් ඇති වන ගැටළුද තරගාවලිය කල්දැමීමේ තීරණයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන බවත් දැනගන්නට තිබේ. පසුගියදා කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම්හි හිමිකාරීත්වය අත්හිටුවීමට තීරණය කළ අතර තවත් කණ්ඩායමක හිමිකාරීත්වය අහිමිකිරීමට යන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එල්.පී.එල් තරගාවලියේ සංවිධායකයින් වන අයි.පී.ජී. සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම් කොන්දේසි වලට අනුකූල නොවීම මත යාපනය ස්ටාලියන්ස් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තීරණය කර ඇත.

අනාගත කණ්ඩායම් හිමිකරුවන් තමන්ට ප්‍රමාණවත් උනන්දුවක් ලබාදී ඇති බව සංවිධායකයින් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත බැඳීම් වලට අනුකූලව එම කණ්ඩායම් සඳහා හිමිකරුවන් එක්කර ගැනීමට අවශ්‍ය අනුමැතිය සඳහා සියලුම ලේඛන ඉදිරිපත් කර ඇත.
සමාරම්භක තරගාවලියේදී තිසරා පෙරේරා විසින් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ආයෝජකයින් පිරිසක් එම කණ්ඩායමේ හිමිකරුවන් වූහ.

නමුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අවසන් කිරීම පිළිබඳව සංවිධායකයින් විසින් තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත.

මෙම අවස්ථාවේදී තරගාවලිය කල් දැමීම හේතුවෙන් දෙවැනි වරටත් පැවැත්වෙන තරගාවලිය සඳහා සුදුසු දිනයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දුෂ්කර වනු ඇත.

මේ මාසය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දියානු තරගමාලාව සමඟින් කාර්යබහුල වී තිබේ. කෙසේ වුවත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්හිදී කැරිබියන් ප්‍රීමියර් ලීග් සහ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර පැවැත්වීමට සැලසුම් කර ඇත. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතය.

එළඹෙන මාසවලදී සෑම කණ්ඩායකම පාහේ දින දර්ශනය සම්පුර්ණයෙන්ම පිරී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් බලාපොරොත්තුවෙන් සිටියද, මෙවර එල්.පී.එල් තරගාවලිය ඔවුන්ට කැමති අවස්ථාවක පැවැත්වීම අපහසු වනු ඇත.

“ක්‍රීඩා දින දර්ශනය මුළුමනින්ම පිරී ඇති බව අපට වැටහෙනවා. නමුත් අපට යම් අවස්ථාවක් ලබා ගත හැකිදැයි අපි බලනවා. ඒ ගැන කතා කිරීමට කල් වැඩියි. ඉදිරියේදී තරගාවලිය පැවැත්වෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධායකයින් සමඟ එක්වී තීරණය කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීයෙකු පැවසීය.

 


අදහස් (0)

එල්.පී.එල්. කොට උඩ ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.