Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද අබුඩාබි සිට..)
අවසන් වරට පැවැති 2016 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය යළිත් වරක් මතකයට ගෙනෙමින් මෙවර (2021) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව නවසීලන්තය හෙට (10 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වනු ඇත.
විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේදී එංගලන්තය අවසන් මහ තරග 2 කට ක්‍රීඩා කර ඇති නමුත් නවසීලන්තය තවමත් එක් අවසන් මහ තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත. එබැවින් අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ ලැබූ පරාජයේ වාඩුව ගැනීමට නවසීලන්ත කණ්ඩායමට මෙය කදිම අවස්ථාවක් කරගත හැකිය. එම අභියෝගය ජයගැනීමට නවසීලන්තය සමත් වුවහොත් ඔවුන්ට විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද උදාවනු ඇත.
සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසියේ තරග 4 ක් ජයගෙන එක් තරගයක් පමණක් පරාජයට පත් වෙමිනි. එහිදී ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ එංගලන්තය පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකාව හමුවේ පමණි.
2010 ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්තය, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර සහභාගි වූ අවසන් පූර්ව තරගය දෙකේදී ශ්‍රී ලංකාව (2010 වසරේදී) සහ නවසීලන්තය (2016 වසරේදී) පරාජය කිරීමට එංගලන්තය සමත් විය.
සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ නවසීලන්තය, එහිදී පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ නමුත් ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. නවසීලන්තය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් පූර්ව වටයට පිවිසි අවස්ථා දෙකේදී පාකිස්තානය හමුවේ (2007 වසරේදී) සහ එංගලන්තය හමුවේ (2016 වසරේදී) පරාජය වීම නිසා ඔවුන්ට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි විය.
එංගලන්තය සහ නවසීලන්තය අතර විස්සයි-20 තරග 21 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 13 කදී නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තය සමත් වී තිබේ. තරග 7 කදී එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයද සමත්වී ඇත. එක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරගවැදී ඇත්තේ හරියටම මීට වසර 2 කට පෙරය. 2019 වසරේ නොවැම්බර් මස ඕක්ලන්ඩ් නුවරදී පැවැති එම තරගයේදී දෙපිලේම ලකුණු සම වීමෙන් අනතුරුව සුපිරි ඕවරයේදී නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තය සමත් වූයේය.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්ත ආරම්භක පිතිකරු ජොස් බට්ලර්, තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 240 ක් රැස්කිරීමට සමත්ව සිටියි. නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් තරග 5 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 176 ක් ලබා සිටින අතර ඔහු පසුවන්නේ වැඩිම ලකුණු ලාභීන් අතර 11 වැනි ස්ථානයේය. ඔවුන් දෙදෙනා හැරුණු කොට නවසීලන්තය වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 126 ක්ද, ඩැරිල් මිචෙල් ලකුණු 125 ක්ද ලබා සිටින අතර එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි ලකුණු 123 ක් ලබා සිටිති.
සුපිරි 12 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී කළවේ ආබාධයකට ලක්වීම නිසා එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය. ඔහුගේ ආදේශකයා ලෙස එංගලන්ත සංචිතයට කැඳවා සිටින ජේම්ස් වින්ස් හෝ පෙර සිටම සංචිතයේ සිටි සෑම් බිලින්ස් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇත. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාටම වඩා ආරම්භක පිතිකරුවන් ලෙස අත්දැකීම් ඇති ජොනී බෙයාර්ස්ටෝ හෝ ඩේවින් මලාන් සමග ජොස් බට්ලර් සමගින් හෙට තරගයේදී එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් ඇත.
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රේන්ට් බෝල්ට් තරග 5 කදී කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් තෙවැනි ස්ථානයේදී රැදී සිටියි. එංගලන්ත පා දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් සහ නවසීලන්ත පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි තරග 5 කදී කඩුලු 8 බැගින් දවාගෙන ඇති නමුත් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව රෂීඩ් වැඩිම කඩුලු ලාභීන් අතර 9 වැනි ස්ථානයේද, සෝධි එහි 13 වැනි ස්ථානයේදී පසුවෙති. ඔවුන්ට අමතරව එංගලන්තය වෙනුවෙන් මොයින් අලී සහ නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුලු 7 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් ඇත.
පිතිහරඹ අංශය කෙරෙහි අවධානය යොමු කරන විට කණ්ඩායම් දෙකම එක හා සමාන ශක්තීන්ගෙන් සමන්විත වුවත්, පන්දු යැවීමේ අංශය ගත් කළ එංගලන්ත කණ්ඩායමේ වැඩි ශක්තියක් දඟ පන්දු යවන්නන් සතුවද, නවසීලන්ත කණ්ඩායමේ වැඩි ශතක්තියක් වේග පන්දු යවන්නන් සතුවද පවතී. එබැවින් හෙට තරගය පැවැත්වෙන්නේ හුදෙක් එංගලන්තය සහ නවසීලන්තය අතර පමණක් නොව එංගලන්ත දඟ පන්දු යවන්නන් සහ නවසීලන්ත වේග පන්දු යවන්නන් අතරය. එහිදී ඔවුන්ගෙන් වැඩි දස්කම් දක්වන කොට්ටාස තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයනු ඇත.
එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජෝස් බට්ලර්, ඩේවිඩ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ලියාම් ලිවින්ග්ස්ටන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝර්ඩ්න්, අදිල් රෂීඩ්, ඩේවිඩ් විලී, ටොම් කරන්, රීස් ටොප්ලි, මාක් වුඩ්, ජේම්ස් වින්ස් සහ සෑම් බිලින්ස්
නවසිලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ජේම්ස් නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ඇඩම් මිලන්, ටිම් සවුති, ඉෂ් සෝධි, ට්‍රෙන්ට් බෝල්ට්, ටොඩ් ඇස්ටල්, මාක් චැප්මන්, කයිල් ජැමීසන් සහ ටිම් සෙයිෆර්ට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.