Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට කඩුලු 9 ක ජයක්
කාන්තා ලෝක කුසලාන - 2022

එංගලන්තයට කඩුලු 9 ක ජයක්

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති එංගලන්ත කාන්තා කණ්ඩායම එහිදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 19.2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ඩැනියෙල් වයට් පන්දු 68 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

මුලු ලකුණු සංඛ්‍යාව 20 ක්ව තිබියදී ටැමී බියුමොන්ට් ලකුණු 2 කට දවාගැනීමට ඩයනා බේග් සමත් වූවාය. එහෙත් නායිකා හේදර් නයිට් (නොදැවී 24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 87 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ඩැනියෙල් වයිට් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළාය. පන්දු 36 කදී වාර්තා වූ නයිට්ගේ ඉනිමට එකදු හයේ පහරක් හෝ හතරේ පහරක් ඇතුළත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට කැත්‍රින් බ්‍රන්ට්ගේ සහ සොෆී එක්ලෙස්ටෝන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. පාකිස්තාන කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ සිද්‍රා අමීන් පන්දු 77 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක් ලබාගත්තාය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කැත්‍රින් බ්‍රන්ට් ලකුණු 17 කට කඩුලු 3 ක්ද, සොෆී එක්ලෙස්ටෝන් ලකුණු 18 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පාකිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ. ඒ සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් නායිකා හේදර් නයිට් සහ කේට් කෘස් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

පාකිස්තාන කාන්තා පිල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 105

(සිද්‍රා අමීන් 32, සිද්‍රා නවාස් 23, කැත්‍රින් බ්‍රන්ට් 17/3, සොෆී එක්ලෙස්ටෝන් 18/3)

එංගලන්ත කාන්තා පිල - ඕවර 19.2 කදී කඩුල්ලක් දැවී 107

(ඩැනියෙල් වයට් නොදැවී 76, හේදර් නයිට් නොදැවී 24)

-036


අදහස් (0)

එංගලන්තයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.